අධි අවදානම් ඇතුළු අනෙකුත් දිස්ත‍්‍රික්ක අනිද්දා (11 වැනිදා) විවෘත කළද පුද්ගලික බස් රථ 75% කට වැඩි ප‍්‍රමාණයක් ධාවනයට එක් කළ නොහැකි බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

සහනාධාර නොලැබීම, සේවක අර්බුදය ඇතුළු ගැටලු රැසක් ඊට බලපා ඇති බව ඔහු කියයි.

එසේම ධාවනයට එක් කිරීමට හැකි වන 25% කට අඩු බස්රථ සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේදයන් අනුගමනය කරමින් ධාවනය කිරීමට හැකි වෙනු ඇති බවට සහතිකයක් දිය නොහැකි බව ද ගැමුණු විජේරත්න මහතා සඳහන් කර තිබේ.

පෞද්ගලික බස් හිමියන් වෙනුවෙන් රජය කිසිදු සහනාධාරයක් ලබාදී නොමැති තත්වයක් තුළ ගැටලු ගණනාවක් මතු ව ඇති බවත් , මේ පිළිබඳ රජයේ මැදිහත් වීම අත්‍යවශ්‍ය බව ද දැන් ඔහු කියයි.

ඇඳිරි නීතිය ඉවත් කර ඇති ප‍්‍රදේශවල පුද්ගලික බස් රථ ධාවනයට යෙදවීමේදී අනුමත මඟීන් සංඛ්‍යාවට වඩා වැඩිපුර මගීන් ගෙන යෑමට සිදුව ඇති නිසා රජය සඳහන් කරන අනුමත මගීන් සංඛ්‍යාව ප‍්‍රායෝගික නොවන්නක් බවද ඔහු දන්වා ඇත.

මෙම වසංගතය මර්දනය කිරීමේ දී සෞඛ්‍ය ක‍්‍රමවේදයන්ගෙන් පරිබාහිර අනෙකුත් අංශ කෙරෙහි රජයට නිසි වැඩපිළිවෙලක් නොමැති බව චෝදනා කළ ගැමුණු විජේරත්න මහතා ඒ හෙයින් ක්ෂේත‍්‍ර බොහෝමයක දැඩි ගැටලූ‍කාරී තත්ත්වයක් මතුව ඇතැයි ද පෙන්වා දෙයි.