මාස එකහමාරකට ආසන්න කාලයක් එකදිගට ඇඳිරි නීතිය පැවතිම නිසා ගෙවල් වල සිරවී සිටි කොළඹ ගම්පහ කළුතර හා පුත්තලම ජනතාව අතරින්
කොටසකට අද එළියට යාමේ අවස්ථාව උදාවිය. ඒ ඊයේ රාත්‍රී රජය නිවේදනය කළ පරිදි ජාතික හැඳුනුම්පත් අංක නියමය අනුව නිවාස වලට  ආසන්න කඩ සාප්පු හා ඖෂධ හල් වලට ගමන් කිරීමට ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල ජනතාවට අවස්ථාව හිමිකරදීම නිසාය.
කෙසේ වෙතත් මෙම වරම අද සඳුදා හිමිවන්නේ ජාතික හැඳුනුම්පත් හිමි අයට වන අතරම එයින්ද අවසාන අංකය 1 හා 2 ඇතිනම් පමණි.
අද දිනයේ ඇතැම් වෙළෙඳසල් විවෘත කර ඇති ස්වරූපයක්ද කොළඹ හා තදාසන්න නගරවලින් වාර්තාවී ඇති අතර බොහෝ ඖෂධහල් විවෘතව ඇති බවද වාර්තා විය.
මේ අතර ලබන 11 වනදා සිට පුද්ගලික අංශයේ හා රජයේ අංශයේ වැඩ කටයුතු සීමාවන් යටතේ අවම ආකාරයෙන් පවත්වායන්නට රජය උපදෙස් දී ඇති අතර ඇතැම් පුද්ගලික අංශයේ ආයතන අද 04 වනදා සිට යළි ආරම්භ කර තිබෙන බවද වාර්තා විය.