ලෝකය පුරාම කොරෝනා වසංගතයට ගොදුරු වුන ආසාදිතයන් සංඛ්‍යාව දවසින් දවස ඉහළ යනවා. ඒ වගේමයි මිය යන සංඛ්‍යාවත්. බලහිඳිද්දීම ඉහළ නැගීම අවාසනාවට කරුණක්. කොවිඩ් 19 වෛරසයට ගොදුරු වෙලා ජීවිතයත් මරණයත් අතර සටනක
යෙදෙන අසරණයන්ට හුස්ම ගැනීම පහසු කරන යන්ත්‍රයක් (ventilator) තියනවා. ගොඩක් දෙනෙක්ට මරණයෙන් බේරිලා ජීවිතය තහවුරු කරගන්න ඉන් ලැබෙන උදව්ව එසේමෙසේ එකක් නෙමෙයි.


නමුත් යන්ත්‍රයක පිහිට ලබා දුන්නත් සමහර රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට නොහැකිවන අවස්ථාවන්ද සුලබව සිදුවෙනවා.

මේ කතාව ජොනිටා නිට්ලා නම් බ්‍රිතාන්‍ය හෙදියක් ගැන. ඇයගේ නිල කාර්යය තරමක සංවේදී එකක්.
එවැනි 'වෙන්ටිලේටර්' යන්ත්‍ර පහසුකම් රෝගියාට පලක් නොවන අවස්ථාවකදී එය අක්‍රිය කිරීමට
භාරවෙලා තියෙන්නේ ඇයට.

හතළිස් දෙහැවිරිදි,ජොනිටා ලන්ඩන් නගරයේ පිහිටි 'රෝයල් ෆ්‍රී ආරෝග්‍යශාලාවේ' දැඩි සත්කාර
ඒකකයේ ප්‍රධාන හෙදියක්. ඇය අධිසත්කාර අංශයේ විශේෂඥ හෙදියක ලෙස වසර දහසයක කාලයක්
බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ' (NHS) කටයුතු කරලා තියනවා.

''මේ රැකියාව වේදනාකාරීයි. සිත කම්පාවට පත් කෙරෙන්නක්. සමහර අවස්ථාවල මට හිතිලා තියෙනව
මමත් සමහර මරණවලට යම් ආකාරයකින් වගකිව යුතුය කියල'' ජොනිටා කියන්නේ හරිම කණගාටුවෙන්.

කොරෝනාවෛරසය ආසාදිතව රෝගියකුගේ පෙනහැල්ල දුර්වලව අක්‍රිය වෙන අවස්ථාවන්හි සිරුරක ආශ්වාස -
ප්‍රාශ්වාස කාර්යය පැවරෙන්නේ මේ 'වෙන්ටිලේටර්' යන්ත්‍රයටයි. කොරෝනා රෝගියාට වෛරසයට
එරෙහිව තවදුරටත් පොර බැදීම සඳහා එමගින් තවත් කාලයක් හිමිවන නමුත් ඇතැම් අවස්ථාවන්වලදී එම
කාලය ප්‍රමාණවත් වන්නේ නැහැ.

සුවයක් නොලබන රෝගියකුට සම්බන්ධ කර තිබෙන 'වෙන්ටිලේටර්' යන්ත්‍රයක් අක්‍රිය කිරීමේ තීන්දුව ගැනීමේ
දී වෛද්‍ය කාර්ය මණ්ඩල ඉතා දුෂ්කර මොහොතකට මුහුණ දෙනවා වගේම එවැනි තීන්දුවක් ගනු ලබන්නේ
කරුණු රාශියක් දැඩි සැලකිල්ලට ගනිමින්.

රෝගියාගේ වයස, ඔහු පීඩා විඳින වෙනත් දරුණු සෞඛ්‍ය ප්‍රශ්න, ඔවුන් 'Covid 19' වෛරසයට
ප්‍රතිචාර දක්වන ආකාරය සහ වෛරසයෙන් බේරීම අතින් අදාළ රෝගියාට ඇති අවස්ථාලාභය වැනි කරුණු
එවැනි අවස්ථාවන්හි සැලකිල්ලට ගන්නවා.

අප්‍රියෙල් මාසයේ දෙවැනි සතියේ එක් උදෑසනක ජොනිටා හෙදිය කැඳවූ අධිසත්කාර ඒකකයේ රෝගීන්
ලියාපදිංචි කරන නිලධාරියා, එදින ඇයගේ නිල රාජකාරි පිළිබඳව දැනුවත්  තිබෙනවා. ඇයට එදින
පැවරුණ පළමු නිල කාර්යය වුණේ, Covid-19 වෛරසය ආසාදිතව සිටි වයස අවුරුදු පනස් ගණනක් වූ
වෙනත් හෙදියක් සඳහා සැපයෙමින් තිබූ ප්‍රතිකාර නතර කිරීමයි.

කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සම්බන්ධයෙන් අප්‍රියෙල් මස මුලදී බල පැවැත්වුන රෙගුලාසි අනුව
පවුලේ සාමාජිකයන්ටවත් මියැදෙමින් සිටින රෝගියකු බැලීමට අවසර ලැබුනේ නැහැ. ඒ නිසාම ජොනිටා
හට සිදුවූයේ කොරෝනා වෛරසය ආසාදිතව මරණාසන්නයේ සිටි හෙදිය සම්බන්ධයෙන් ගැනීමට යන
ක්‍රියාමාර්ගය දුරකතනය ඔස්සේ එම හෙදියගේ දියණියට දැනුම්දීමටයි.


'' මම රෝගියාගේ දුවට කිව්වා අම්මා වේදනාවකින් තොරව, ඒ වගේ ම ඉතා ම පහසුවෙන් සිටින බවක්
පෙනෙනවාය කියල. ඒත් එක්ක ම මම ඇහුවා අම්මගේ බලාපොරොත්තු හැටියට තිබුණේ මොනව ද? ඇයගේ
ආගමික උවමනා මොනව ද? කියල '' ජොනිටා කියන්නේ බොහොම කණගාටුවෙන්.

''මම රෝගියාගේ සයනය තිර රෙදිවලින් ආවරණය කළා. අනතුරු ඇඟවීමේ සියලු සීනු අක්‍රිය කෙරුව. ඒ
සමඟ වාට්ටුවේ වෛද්‍ය කාර්ය මණ්ඩලය මොහොතකට නිහඬ වුනා.  දුරකතනය රෝගියාගේ කනට ලංකොට මවට කතාකරන ලෙස ඇයගේ දියණියට උපදෙස් දුන්නා."

අනතුරුව ඇය රෝගියාගේ පවුලේ සාමාජිකයන් ඉල්ලා සිටි සංගීතයක් වාදනය කරමින් 'වෙන්ටිලේටරයේ'
ස්විචය සෙමෙන් අක්‍රීය කර තිබෙනවා.

''මම මියැදෙමින් සිටි රෝගී කාන්තාව අවසන් හුස්ම හෙලන තෙක් ඇයගේ අත අල්ලාගෙන සිටියා'' ඇය
කියන්නේ බොහොම සංවේදීව.

ජොනිටා 'වෙන්ටිලේටරය' අක්‍රිය කරනු ලැබීමෙන් මිනිත්තු පහකටත් අඩු කාලයක් ඇතුළත රෝගී කාන්තාව
අවසන් හුස්ම හෙලා තිබෙනවා.

''රෝගියාගේ හෘද ස්පන්දනය නිරීක්ෂණය කෙරෙන යන්ත්‍රයේ ආලෝකය නිවෙන්න - දැල්වෙන්න පටන්
ගන්නවා මම දැක්කා. හෘදස්පන්දනය 'බිංදුව' හැටියට සටහන් වුණා. හද ගැස්ම පෙන්වන රේඛාව
තිරයේ පෙන්නුම් කෙරුණේ තනි ඉරක් විදිහට '

මොහොතකට පෙර අවසන් හුස්ම හෙළූ රෝගියාගේ සිරුරට වේදනා නාශක ඖෂධ සපයමින් තිබුණ බට එම සිරුරෙන් ගළවා ඉවත් කිරීමට ජොනිටා පියවර තිබෙනවා.

''මම මගේ කණ්ඩායමේ අනිත් අයගේත් උදව් ඇතිව මියගිය කාන්තාව ඇඳේදී ම සේදුවා. ඊට පස්සේ
සුදුපාට මිනී ඇඳුමකින් මළසිරුර එතුවා. ඊළඟට සිරුර 'බොඩි බෑග්' එකකට ඇතුල් කළා. බෑග් එක සීල්
කරන්න ඉස්සර වෙලා මම මළ සිරුරේ නළලේ කුරුසය සටහන් කළා''