නව කොරෝනා වෛරසය සමඟ බොහෝ දෙනෙක්ට හුදෙකලාවේ ජීවත්වීමට සිදුවී තිබේ. ඒ බොහෝ රටවල්  lockdown කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම නිසායි. නමුත් වනසතුන්ට මෙම නව කොරෝනා
වෛරසය නිසා අසීමිත නිදහසක් ලැබී ඇති බව පෙනෙන්නට තිබේ. ඊට කදිම නිදසුනක් ලෙස ඊශ්‍රාලයේ Tel Aviv උද්‍යානයේ ඔබ මොබ ඇවිදින හිවලුන් හඳුන්වා දිය හැක.

මෙම Tel Aviv උද්‍යානයේ බොහෝ මිනිසුන් ගැවසුණ ද මෙම නව කොරෝනා වෛරසයත් සමඟ එහි ජනතාව පැමිණීමේ අඩුවක් දක්නට ලැබේ.  ජනතාවගේ පැමිණීම එසේ අඩු වුවත් මේ අවස්ථාව වන විට එම උද්‍යානය පුරා හිවලුන්ගේ සැරිසැරීම බහුල ලෙස දක්නට ලැබෙන බව ආරංචි වී තිබේ. මිනිසුන්ද මුහුණු ආවරණ යොදාගෙන මෙම උද්‍යානයේ සැරිසරන බැවින් සතුන් ද ඔවුන් කෙරෙහි දැඩි බියක් නොදක්වන බව පෙනෙන්නට ඇත. කෙසේවෙතත් බොහෝ මිනිසුන් සංචාරය කළ මෙම උද්‍යානයේ දැන් අයිතිකරුවන් වී ඇත්තේ හිවලුන්ය. එමෙන්ම බොහෝ ජනතාව මොවුන්ගේ ඡායාරූප ගැනීමටත් පෙළඹී ඇති බව පෙනේ. කෙසේ වෙතත් මෙම සතුන්ට දැන් මේ උද්‍යානය ඉතා සුව පහසු ස්ථානයක් බවට පත්වී තිබෙන බව සත්ත්ව විද්‍යාඥයින් පවසා තිබේ.

ඔවුන් මෙසේ ආහාර සෙවීම සඳහා බොහෝ දුරක් ගමන් කරන බවත් හිවලුන් යනු තරමක් දරුණු සත්ත්ව කොට්ඨාසයක් වන නමුත් දැන් ඔවුන් මිනිසුන් හා සමීප වී ඇති බවත් එම සත්ත්ව විද්‍යාඥයන් විසින් පෙන්වා දී තිබේ. මේ සියලු දේ සිදු වී ඇත්තේ නව කොරෝනා වෛරසයේ බලපෑමත් සමග බව ඔවුන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරයි. නමුත් ඇතැම් මිනිස්සුන්ගේ යම් යම් ක්‍රියාවන් නිසා මෙම තත්ත්වය නරක අතට හැරීමට ඉඩ ඇති බවද ඔවුන් පෙන්වා දෙයි. උද්‍යානයට පැමිණෙන ඇතැම් මිනිසුන් හිවලුන්ට මාංශ කැබලි විසි කිරීමට පුරුදු වී සිටීම කනගාටුදායක කරුණක් වන බවත් එහි ප්‍රතිඵලයක් වශයෙන් දැන් එම සතුන් මිනිස් ආහාර වලට පුරුදු සිටීම මෙන්ම මිනිස් ආහාර සොයා ජනතාව ගැවසෙන ප්‍රදේශ වලට  ප්‍රවේශ වීමට පෙළඹීම එතරම් හපත් ක්‍රියාවක් නොවන බව පැහැදිලිය.

කෙසේ වෙතත් සත්ත්ව විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ සතුන්ට ඔවුන්ගේ ජීවිතය නිදහසේ ගත කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවයි. එමෙන්ම ඔවුන්ට තනිවම තමන්ගේ ආහාර සොයා ගැනීමට ඉඩ දිය යුතු බවත් ඔවුන් පෙන්වා දෙයි. ජනතාව මෙසේ ආහාර ලබා දී ඔවුන්ව පෝෂණය කිරීමෙන් අනතුරුදායක තත්ත්වයකටත් අනිසි ප්‍රතිවිපාකයනටත් මුහුණදීමට ජනතාවට සිදු වනු ඇතැයි ඔවුන් අනතුරු අඟවා තිබේ. එබැවින් මෙවන් අවස්ථාවකදී සිහිබුද්ධියෙන් යුතුව කටයුතු කිරීමටත් ජනතාව වග බලා ගත යුතුය.

- රිෂ්මි ඉෂාරා -