සර 04 කට වරක් පවත්වන දකුණු කොරියාවේ මහමැතිවරණය අද (15) ආරම්භ විය. ජාතික මන්ත්‍රණ සභාව (National Assembly) නමින් හඳුන්වන එරට පාර්ලිමේන්තුවට සභිකයින් 300 තෝරාගන්නා මෙම මැතිවරණය කොරෝනා වෛරස් බලපෑම මත කල් දැමීමක් සිදු වූයේ නැත. 1952 කොරියානු යුද්ධය අතරදී පවා මහමැතිවරණය නිසි දිනට පවත්වා තිබුණ බව කියැවේ. මැතිවරණය පවත්වන දිනය අප්‍රේල් මැද සතියේ බදාදාවක් විය යුතු බවට එරට ව්‍යවස්ථාවේ දැක්වෙන අතර දේශපාලකයින්ට උවමනාවට දිනය වෙනස් නොකෙරේ. අවසන් වරට 2016 මැතිවරණය
පවත්වා ඇත්තේ අප්‍රේල් 13 වනදාවකය.
නමුත් කොරෝනා වෛරස් බලපෑම නිසා ඡන්ද විමසීම පවත්වන ආකාරයේ වෙනසක් සිදු කෙරිණි.
ඒ අනුව පසුගිය සිකුරාදා හා සෙනසුරාදා අලුතින් හඳුන්වාදුන් 'මුල් වටයක්' ලෙස ඡන්ද විමසීමක් මධ්‍යස්ථාන 3,500 කදී පමණ පවත්වන ලද අතර ඒ සදහා ඡන්ද දායක කොටසකට එක්වීමට අවස්ථාව සලසන ලදි.  ජනතාව ඒකරාශීවීම අවම කිරීමට දින 3 කට කැඩූ මෙවර ඡන්ද විමසීමේ ප්‍රධාන දිනය වන්නේ අද (15) වන අතර අද
මහමැතිවරණය මධ්‍යස්ථාන 14,330 කදී පැවැත්වේ.
චීනයේ කොරෝනා ආසාදිතයින් මුලින් වාර්තාවන කාලයේ දෙවැනියට වැඩිම වාර්තාවීම් පෙන්නුම් කළ දකුණු කොරියාව උපායශීලි ලෙස එහි බලපෑම අවම කරගත් රටකි. ආසාදිතයින් ගැන සැකයට ඇමරිකාව ඉතාලිය ළඟට පරීක්ෂණ වැඩිම ප්‍රමාණයක් (527000) සිදු කර ඇති තෙවැනි රට වන්නේද දකුණු කොරියාවයි. ආසාදිතයින් දසදහසක් මෙන්ම මරණ 222 ක් දකුණු කොරියාවෙන් දැනට වාර්තාවී ඇති අතරම තවම එම බලපෑමින් මිදුණ රටක් නොවේ.
මිලියන 44 ක ඡන්ද දායක පිරිසක් වාසය කරන දකුණු කොරියාවේ දේශපාලන පක්ෂ වලට මහමැතිවරණයේ ප්‍රචාරණ අවස්ථාව ලබාදෙන්නේ සති දෙකක් පමණි. මෙවර දේශපාලකයින්ට බොහෝ විට තට්ටු නිවාස අසළට ගොස් මෙගා ෆෝන් වලින් කතා කර ජනතාව අමතන්නට සිදුවිය.
“මට ඔබේ මුහුණු නොපෙනේ, නමුත් මට ඔබේ හදවත් සහ මනස දැකිය හැකිය” යැයි කොරියාවේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකා කෝ මින්-ජුන් මහත්මිය වීදි වල සැරිසරමින් කියා සිටි බවට මාධ්‍ය වාර්තා පළවිය. ජනාධිපති මූන් ජේ-ගේ පාලක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය දැනට වැඩි ආසන සංඛ්‍යාවක් හිමි කරගනු ඇතැයි අනාවැකි පළ කර තිබෙන අතර “කෝවිඩ් -19 යුද්ධය ජය ගැනීම” යන සටන් පාඨය ඔවුන්ගේ ඡන්ද ප්‍රචාරණයේදී මූලික කරගෙන තිබේ. (දකුණු කොරියානු ජනපතිවරණය පවත්වන්නේ තවත් වසර 2 කිනි)

මෙවර මැතිවරණයේදී වෛරසය පැතිරවීමෙන් මිදී ඡන්දය ප්‍රකාශ කරන ආකාරය ගැන උපදෙස් රාශියක්
කොරියානු ජාතික මැතිවරණ කොමිෂන් සභාව මගින් නිකුත් කර තිබෙන අතර  “කොවිඩ් -19න් බේරාගෙන  සන්සුන් වී ඡන්දය ප්‍රකාශ කරන්න” යන්න දැක්වෙන වීඩියෝවක්ද නිකුත් කර තිබේ.

නව නීති අනුව ඡන්දදායකයින් ටේප් සලකුණු කළ ස්ථානවල අඩි 3 ක් දුරින් බලා සිටිය යුතුය. ඡන්ද මධ්‍යස්ථාන තුළ ඇවිදීමට පෙර ඔවුන්ගේ උෂ්ණත්වය මැන බලන අතර එම අගය සෙල්සියස් 37.5 ට වැඩිනම් පොදු ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද ප්‍රකාශ කිරීමට ඉඩ නොදේ. කොරෝනා පරීක්ෂණය පිළිබඳ ඔවුන් ගැන විමර්ශනයකට යොමු කරන අතර අවශ්‍ය නම් වෙනත් තැනක පිහිටි විශේෂිත ආරක්ෂිත ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබාදේ.

 ඡන්ද පෙට්ටි පවතින ස්ථාන අසළ විෂබීජ නාශක පවතින අතර ඒවා භාවිතයට ගෙන ඇතුළු විය යුතුය.
අත් සදහා සනීපාරක්ෂාව සලසන යන්ත්‍රයක් සහ ඉවත දැමිය හැකි අත්වැසුම් ද ලබා දෙයි.
වෛරසය නැති කාලේ 2016 පැවති මහමැතිවරණයේදී  ඇඟිලි සලකුණු ස්කෑනර් මගින් පුද්ගල අනන්‍යතාව තහවුරු කළත් මෙවර එම ක්‍රමය වෙනස් කර තිබේ. ඒ වෙනුවට, ඡන්දදායකයින් ඔවුන්ගේ නම ඩිජිටල් පෑඩ් එකක ස්ටයිලස් ක්‍රමයට අත්සන් කරනු ඇත. ඔවුන් රජයේ ඡායාරූප හැඳුනුම්පත් ඉදිරිපත් කළ යුතු අතර, පසුව ඔවුන් මුහුණු ආවරණ පැළඳගෙන යායුතුය.

කොරෝනා ආසාදිතයින්ටද විදෙස්ගත කොරියානුවන්ටද මෙවර මැතිවරණයේදී ඊමේල් මාර්ගයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ විශේෂ ක්‍රමයක් හදුන්වා දී තිබේ.