සුගිය 30 වනදා කොරෝනා ආසාදිතවී මියගිය දෙවැනි ශ්‍රී ලාංකිකයා වූයේ මීගමුව, පෝරුතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ මොහොමඩ් ජමාල්ඩීන් නමැති 64 හැවිරිදි පුද්ගලයෙකුය. කොරෝනා ආසාදිතවී මියයන මුස්ලිම් ජාතිකයින්ගේ අවසන් කටයුතු භූමිදාන ලෙස කරනවාද ආදාහනය කරනවාද යන සංවාදය පැනනැගුනේ මොහුගේ මරණින් පසුය. ඔහු මියගිය දිනයේම රාත්‍රී
සිදුවූ ආදාහනය සඳහා පවුලේ කිසිවෙකු එක්වූයේ නැත.එය භූමිදානයක් ලෙස සිදු කරන්නට ඇමති රාවුෆ් හකීම් ඇතුළු පිරිස එදින රාත්‍රී උත්සාහයක නිරතවී එය අසාර්ථකවූ බවද පැවසිණි.

මියගිය ආබ්දීන් මහතාගේ පුතෙකු වන තානිස් පුවත්පතකට මෙම සිද්ධිදාමය ගැන ප්‍රකාශයක් ලබාදී තිබේ. ඔහු ඒ ගැන මෙසේ කියයි.

“මම තානිස්, මීගමුව රෝහලේදී කොරෝනා රෝගියකු බවට පත්ව මියගියේ මගේ තාත්තා.

මේ වෙනකොට තාත්තා අපෙන් ඈතට යන්න ගිහින්. අන්තිම වතාවට මූණ බලන්නවත් අපිට ඉඩක් ලැබුණෙ නෑ. පරිස්සම් වෙන්න. ඒත් මේ වෙනකොට නිව්ස්වලින් අපි ගැන කියන බොරු දැක්කම හිතට දැනෙන්නෙ ලොකු වේදනාවක්. මගේ තාත්තාවත් අපේ පවුලෙ ලංකාවේ ඉන්න සහෝදරයො කවුරුවත් මෑතකදී ඉන්දියාවට හෝ ජර්මනියට ගිහින් ආවෙ නෑ. ඒක බොරුවක්.
ඩුබායි ඉඳලා සහෝදරයෙක් ගෙදර ඇවිල්ල ගියා. ඒක ඇත්ත. ඒත් පෙබරවාරි 28 එයා ගියෙ. ඒක අපෙන් අහපු හැමවෙලාවකම අපි දන්න අයට කිව්වා. මේ ලෙඬේ කොහෙන් ආවද කියන්න තේරෙන්නෙ නෑ. ඒත් අපි මේ මාසෙ 8 වැනිදා යාපනේ ගිහින් ආවා. ඒක ඇත්ත. එතකොට තාත්තාට කියන්න තරම් ලොකු අසනීපයක් තිබුණෙ නෑ.
එයාට ටිකක් ඇදුම තියෙනවා කලින් ඉඳලම හුස්ම ගන්න ටිකක් අමාරු වෙනවා. ඒ නිසා අපි හිතුවෙ මේ ආවෙත් ඒක කියල. ඩොක්ටර් කෙනෙක් ළඟට ගිහින් බෙහෙත් ගත්තා. අපි හිතුවෙ නැහැ මෙහෙම දෙයක්. තාත්තට හුස්ම ගන්න අමාරු වුණා. ඒ වෙලාවෙ ඇදුම වැඩිවෙලා කියල හිතුවා, ඒත් ඒ වෙද්දි උණ ගතිය වැඩිවෙලා වගෙ දැනුණා. පෙරේදා නවලෝකෙට අරන් ගියා, ඒක ඇත්ත. එතනින් බලලා මීගමුවේ මහ රෝහලට යැව්වා. සාමාන්‍ය විදිහට පිරිමි වාට්ටුවට දැම්මා, මම දන්න තරමින් තාත්තා මුකුත් හැංගුවේ නෑ. අපි දන්න දේවල් කිව්ව. තාත්තා ළඟ හිටියෙ මමයි. පස්සෙ තාත්තා ෂක්‍ඹ දාන්න ඕනෙ කිව්වා. කොරෝනා සැකයක් තියෙනවා කියලා ඒ වෙලාවෙ තමා අපිත් දැනගත්තෙ. අපිට ගෙදරට යන්න කිව්වා. තාත්තා මැරුණා කියල දැනගත්තෙ අවට මිනිසුන්ගෙන්. මේ වගෙ දුකක් කාටවත් වෙන්න එපා.

අපිට තාත්තාගෙ භූමදානෙ කරන්නවත් අවස්ථාවක් ලැබුනෙ නෑ, අපි අපේ කනත්තෙන් අඩි 8ක වළක් කපලා සූදානම් කරල තිබුණෙ. මාලිගාවත්තෙ කනත්තකත් උවමනා නම් සූදානම් කරල තිබුණා. අපි පවුලෙ කිහිපදෙනෙක් ඉඳලවත් අවසන් කටයුතු කරන්න අපිට බැරිවුණා. කාටවත් එහෙම වෙන්න එපා, පරිස්සම් වෙන්න. මහ රෑ අපි දන්නෙත් නෑ මිනිය ආදාහනය කරලා. කාටවත් වරදක් කියන්නෙ නෑ..
මොනවා කියන්නද තේරෙන්නෙ නෑ.අසරණයි. දෙරණ නිව්ස්වලට යනවා දැක්කා අවසන් කටයුතුවලට පවුලෙ කවුරුත් ආවෙ නෑ කියල. මට කෑ ගහල කියන්න හිතුණා තාත්තාව අපි තනිකළේ නෑ ආදාහනය කළා අපි දන්නෙත් නෑ.

අපිත් අසරණයි .බයවෙලා ඉන්නෙ දැන් ගෙදර ඉන්න ඔක්කොම. අපි රට ගිහින් ඇවිත් කියල කියන කතා බොරු, පාස්පෝට් පෙන්නන්න පුළුවන්. මට තේරෙන්නෑ කොහෙන් මේ ලෙඬේ තාත්තට ආවද කියල. ඒත් යාපනේ ගිහින් ආවා, එතනදිද දන්නෙ නෑ. අපි හිතුවෙම ඇදුම කියල. කාටවත් මෙහෙම දෙයක් වෙන්න එපා අපි ගැනත් බයයි. ඒත් හිතේ විශ්වාසයෙන් ඉන්නවා….”
ඔහු අපට කී කතාවේ මේ කොටස අද වෙනකොට බොහෝ දෙනා කියවා තිබේ. නමුත් ඔහු අපිට තවත් දේ කීවේය.
“අපේ තාත්තා යාපනේ ගියේ බස් එකේ. ඒ එන කොට එයා එක්ක ආවෙ කවුද කියන්න දන්නෙ නෑ. හැබැයි තාත්තට තිබුණ හුස්ම ගැනීමේ අපහසුතාව අපි කලින් ඉඳලම දන්නවා. ඒ නිසා ආපු කලබල වුණේ නැත්තෙ. තාත්ත පුද්ගලික රෝහලෙන් එක්ක යන්න කිව්වෙ එයාලා කිසිම පරීක්ෂණයක් කරලා නෙමෙයි. ඒක මම හොඳටම දන්නවා. මොකද එයාලා ලේවත් වෙන දෙයක්වත් ගත්තේ නෑ. ඒත් එයාලා කලබල වුණාය කියලා මට පෙනුණා. දොස්තර කවුරුවත් හරියට බැලුවෙ. නර්සලත් කීප දෙනෙක් ඈත ඉඳලා බලලා ගියා.

එහෙම බලලා මෙයාට අමාරුයි කියලා අරගෙන යන්න කිව්වෙ මීගමුවෙ ඉස්පිරිතාලෙට. එතනදි පී.සී.යූ. එකෙන් බැලුවා. බලලා අරගෙන යන්න කිව්වා විස්සෙ වාට්ටුවට. එතැනදි කිසිම ගැටලුවක් තිබ්බෙ නෑ.ඉස්පිරිතාලෙ සාමාන්‍ය විදියට සැලකුවා. ගැටලුවක් නෑ. මීගමුව ඉස්පිරිතාලෙ ඇතුළෙ කිසිම ජාතිවාදයක් නෑ. එයාලා අපිට වෙනසක් කළේ නෑ.

හැබැයි මේ වෙනකොට මම හිතන්නෙ රෑ අට හමාරට විතර තාත්තව අයි.සී.යූ. එකට දාමු කිව්වා.
එයාට අමාරුයි කිව්වා. ඒත් එහෙම එකක් පේන්න තිබ්බෙ නෑ. අපිට යන්න කියලා කිව්වා.
“විස්සෙ වාට්ටුවෙදි තාත්තට ඔක්සිජන් දුන්නා.

මම හිතුවෙ ඒ අර වීස් එක ප්‍රශ්නෙ නිසා කියලා. ඉස්පිරිතාලෙ කාර්යමණ්ඩලේ ප්‍රයිවට් එකේ වගේ නෙමේ හැසිරුණේ. එයාලා බය වෙලා වගේ අයින් වුණා. ඒත් විස්සෙ වාට්ටුවෙදි තාත්තට සැලකුවා. හැබැයි එයාලා පස්සෙ මොකක් හරිදේකට බය වුණා.
එයාලා කිව්වා අර ප්‍රයිවට් හොස්පිට්ල් එකේ ඕ.පී.ඩී. එක හෝදනවලු කියලා. කොරෝනාවලට සැකයි වගේ එකක් පෙන්නුවා. මම කිව්වා කොරෝනා සැකයි නං කියන්න කියලා. ඒත් එහෙම හරියට කිව්වෙ නෑ. අරහෙන් බැලුවද ඇහුවා. එයාලා බලන්නෙ කොහොමද මොනවවත් ගන්නෙ නැතිව. මම නෑ කිව්වා.

ඊට පස්සෙ අපිට යන්න කිව්වා. තාත්තව නෝමල් අයි.සී.යූ.එකට එක්ක ගියා. මමද ගෙදර ගියා. පස්සෙ අර ප්‍රයිවට් හොස්පිට්ල් එකෙන් නිතරම ඇහුවා රිපෝට් එක ආවද කියලා. මම තවම දන්නෙ නෑ එහෙම එකක් ගැන. රිපෝට් එකක් ගැන දන්නෙ නෑ. තාත්තා මැරුණා කියලා ආරංචි වුණා. අවසන් කටයුතු ගැන කතා කළා. එයාලා පුච්චන්න ඕනත් කිව්වා.

අපි කිව්වා අපේ ආගමෙ එහෙම කරන්නෙ නෑ කියලා. එයාලා එකඟ වුණා අඩි අටක් යටට වළක් කපන්න කියලා. අපි අපේ ආගමේ ප්‍රධානීන්ට මේ ගැන කිව්වා. එයාලා මාලිගාවත්තෙ තැනක් ලෑස්ති කරන්නම් කිව්වා. ඒත් ඒ දෙකම ලෑස්ති කරන කොට අපි ආරංචි වුණා තාත්තව පුච්චලා කියලා.

අපි දන්නෙවත් නෑ. ඒත් රටේ නීතියට හැමදේටම අපි ගරු කරනවා. අපි හැමෝම එකයි. ඒත් ඉතිං අපේ තාත්තා නිසා අපිට දුකයි.
කොහොම හරි අපි මේ ලෙඬේ පතුරවන්නෙ නෑ. පැතිරෙන්න දෙන්නෙත් නෑ. මේක අපේ රට. අපේ මිනිස්සු. ඒ නිසා අපි මේ වෙලාවෙ රජය කියන විදියට නිරෝධායනය වෙනවා.”

සාකච්ඡාව -ජීවන පහන් තිළිණ