රටපුරා ඇති සියලුම පෞද්ගලික ඖෂධසල් ඊයේ (09දා) සිට දිගටම විවෘත කිරීමට රජයේ අවසරය ලැබී
ඇතැයි සමස්ත ලංකා ඔෟෂධ හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා පැවැසීය.

රජයෙන් ලද එම අවසරය අනුව නීතිරීතිවලට එකඟව පෞද්ගලික ඖෂධ වෙළෙඳසල් විවෘත කරන ලෙස තම සංගමයේ සාමාජිකයන්ට දැනුම් දුන් බව ඔහු කීවේය.
ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල උදෑසන 8 සිට

පස්වරු 5.00 තෙක් ඔසුසල් විවෘත කිරීමට අවසරය ලැබී තිබෙන අතර බෙහෙත් තුණ්ඩුව අවසර පතක් ලෙස පෙන්වා ළඟම ඇති ෆාමසියට පමණක් යාහැකිය.
දුරකථන සන්නිවේදන ක්‍රම ඔස්සේද එසේ කළ නොහැකි අයට ප්‍රාදේශීය ලේකම් විසින් බලය පැවරුණු
නිලධාරීන් මඟින්ද එසේත් නැතිනම් පොලිසිය හෝ ආරක්‍ෂක අංශ හරහා ද බෙහෙත් වට්ටෝරු ලබාදී ඖෂධ ලබාගැනීමේ පහසුකම් සලසා ඇතැයි සංගමය පවසයි.
දුරකථන සන්නිවේදන ක්‍රම එනම් වට්ස්ඇප් සහ වයිබර් ඔස්සේ ඇණවුම් කරන්නටද පාරිභෝගිකයන්ට හැකිය.
මේ වන විට දිවයින පුරා ඖෂධ වෙළෙඳසල් 3200ක් අතරින් වැඩි ප්‍රමාණයක් ඇඳිරි නීතිය පවතින
අවස්ථාවේ විවෘත කිරීමට කැමැත්ත පළ කර තිබේ. රට විපතකට පත්වී සිටින අවස්ථාවේදී උපරිම සහාය
ලබාදෙමින් ජනතාව වෙනුවෙන් සේවය සැලසීමට ඔෟෂධ වෙළෙඳසල් හිමියන් සූදානම් බවද සංගමයේ
සභාපතිවරයා පැවැසීය.