ලංකාවේ ඇතැම් විද්‍යුත් මාධ්‍ය මගින් පසුගිය දිනවල නාවික හමුදාවේ කොරෝනා ආසාදිතයෙකු ආගිය තැන්වල සීසීටීවී දර්ශන පෙන්වූ සිද්ධිය මෙන්ම නිරෝධායනය වන ඇතැම් අයගේ නිවෙස් පෙන්වමින් රෝගීන්ගේ හා රෝගී සැක පුද්ගලයින්ගේ පුද්ගලිකත්වය දැඩි ලෙස උල්ලංඝනය කළ අයුරු විවේචනයට ලක්ව තිබේ. මෙම පසුබිම තුළ
කොරෝනා වෛරසය ආසාදිත  රෝගීන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙසත්, සෞඛ්‍ය බලධාරීන් ඔවුන්ගේ නිවාස පරීක්ෂා කරන විට ඔවුන්ගේ දර්ශන රූගත කිරීමෙන් වළකින ලෙසත් ඉල්ලමින් ආරක්ෂක අමාත්‍යාංශය මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලින් ඉල්ලා නිවේදනයක් නිකුත් කර තිබේ.


ඇතැම් රූපවාහිනී නාලිකාවන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිස් නිලධාරීන් විසින් කොරෝනා ආසාදිතයින් සොයා ගැනීම  හා ඔවුන්ට සෞඛ්‍ය උපදෙස් ලබා දීම  සිදු කරන අයුරු ප්‍රවෘත්ති විකාශන,
වෙනත් ප්‍රවෘත්ති ආශ්‍රිත වැඩසටහන් මගින් හා පුවත්පත්වල විශේෂාංග ලිපි මගින් ප්‍රචාරයන් ලබා දීම සිදුකරන නමුත් පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය නොකරන ලෙස එම නිවේදනයෙන් ඉල්ලා ඇත.

කොරෝනා වෛරස් ආසාදිත බවට සැක සහිත පුද්ගලයින් සොයා ගැනීමේදී සෞඛ්‍ය නිලධාරීන් සමඟ එක්ව එම ස්ථාන වලට යාමෙන් හෝ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරනු ලබන රෝගීන්ගේ පෞද්ගලිකත්වයට හානි වන මෙන්ම මාධ්‍යවේදීන්ගේද සෞඛ්‍යආරක්ෂක හේතූන් සැලකිල්ලට ගෙන එවැනි දර්ශන වීඩියෝ ගත කිරීමෙන් වළකින ලෙස අදාළ මාධ්‍යවේදීන් දැනුවත් කරන මෙන් ආරක්ෂක ලේකම් වරයා මාධ්‍ය ආයතනවලින් ඉල්ලා තිබේ.

කොරෝනා වෛරස් වසංගතය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේදී මාධ්‍යවේදීන් විසින් ඉටුකරන විශිෂ්ට  කාර්යභාරය අගය කරන අතරම පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම තුලින් ඔවුන් සෞඛ්‍ය  පරීක්ෂණයන්  සඳහා ඉදිරිපත් වීම දිරිමත් කරනු ඇතැයි ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල්  (විශ්‍රාමික) කමල් ගුණරත්න පවසා තිබේ.

මාධ්‍ය මගින් මෙවැනි සිදුවීම් ආවරණය කිරීම තුලින් රාජකාරියේ යෙදී සිටින සෞඛ්‍ය නිලධාරීන්ද අපහසුතාවයට පත් වන බව අමාත්‍යාංශයේ අදහසයි.
මෙයට අදාළ නිවේදනය පහතින්