කොරෝනා  රෝගයෙන් මියගිය බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ ( 1 ) දා මත්තේගොඩ නිවාස සංකීර්ණයෙන් වාර්තා විය.
මෙසේ මියගොස් තිබුනේ මත්තේගොඩ නිවාස සංකීර්ණයෙහි පදිංචි ( 67) හැවිරිදි පුද්ගලයෙකි.
රෝගය පිළිබඳ අනාවරණයකින් තොරව සැක සහිත ලෙස නිවසේදීම
මියගොස් තිබූ මෙම පුද්ගලයා මාලදිවයිනේ සිට මෑතකදී පැමිණි අයෙකි.
එම ස්ථානයට පැමිණි හෝමාගම

අධිකරණ වෛද්‍ය නිලධාරීනිය විසින් නිර්දේශ කරන ලද්දේ එම මළ සිරුරට කොරෝනා වෛරස් ආසාදනය වූ පුද්ගලයෙකුගේ මෘත දේහයකට නිර්දේශ කර ඇති ආකාරයෙන් කටයුතු කරන ලෙසයි.
මෙම පුද්ගලයාගේ මරණය පිළිබඳ අවසන් වාර්තා පැමිණෙන තෙක්ම එම නිවැසියන්ට සහ අවට නිවාසවල පුද්ගලයන් ස්වයං නිරෝධායනයකට යොමු කරන ලදී.
මෙම පුද්ගලයා ඉකුත් පෙබරවාරි මස 20 වනදා මාලදිවයිනේ සිට මෙරටට පැමිණ ඇති අතර ඊයේ (1)
අලුයම මෙසේ මරණයට පත්වී ඇත.
මේ පිළිබඳව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  කාර්යාලය දැනුවත් කිරීමත් සමග  මහජන සෞඛ්‍ය
පරීක්ෂක නිලධාරීන් එම ස්ථානයට පැමිණ සිදු කළ ස්ථානීය පරීක්ෂණයට අනුව මියගිය පුද්ගලයා විදේශගතව
සිට පැමිණි අයකු වූ බැවින් මෙම මරණය කොරෝනා රෝගය වැළදී මිය යන්නට ඇති බවට සැක කරණා
 බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරි වෛද්‍ය ධනුක පද්මරාජ මහතා පැවසීය .
ඒ අනුව එම ස්ථානයට හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය වරුනා ජයසූරිය
මහත්මිය පැමිණ මෘත දේහය මුද්‍රා තැබීමට පියවර ගත්තාය.

පසුව  දේහයේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කොට  දේහය
කළුබෝවිල ශික්ෂණ රෝහලට යොමු කිරීමට පියවර ගත්තේය .
එහිදී ලැබෙන වාර්තාවට අනුව මෘත දේහය  පිළිබඳ ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතය.
මේ අතර වෛද්‍ය  පර්යේෂණායතනයේ මෘත දේහය පිළිබද වාර්තාව ලැබෙන තෙක් නිවසේ රැඳී සිට
ස්වයං නිරෝධායන යෙදෙන ලෙස  නිවැසියන්ට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් උපදෙස් ලබා
දෙන ලදී .
එසේම නිවස හා  අවට විෂබීජහරණයට ලක් කිරීමට ද මහජන සෞඛ්‍ය  පරීක්ෂක නිලධාරීන් පියවර ගැනිණි.

මත්තේගොඩ - ශාන්ත ප්‍රදිප්