සුගියදා කොරෝනා ආසාදිත වයෝවෘද්ධ අයෙකු මරණයට පත්වූ මරදාන ඉමාමුල් අරූස් මාවතේ තට්ටු නිවාසයේ පදිංචි කාන්තාවක ඊයේ 415 වැනි ආසාදිතයා ලෙස කොළඹ ද සොයිසා මාතෘ රෝහලේදී හඳුනාගන්නට යෙදිණි.
රෝහලේදී මළ දරු උපතක් සිදු කළ ඇය රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ
දරුවා ලැබෙන්නට සිටි නිසා ඇය ගැන විශේෂ අවධානයෙන් පදිංචි ප්‍රදේශය ගැන රෝහල් බලධාරීන් විමසා තිබූ අතර එහිදී ඇය ඇගේ සැබෑ ලිපිනය සඟවා වෙනත් ලිපිනයක් ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත් ඇයගේ සෞඛ්‍ය වෛද්‍ය කාඩ්පත් ඇතුළු සියල්ල නැවත විමර්ශනයට ලක් කර බැලීමේදී

ඇය සපයා තිබෙන ලිපිනය නොව මරදානේ ලිපිනයක ඇය පදිංචි බව හඳුනාගෙන ඇත.ඇයගේ නිවැරදි පදිංචිය දන්වන ලෙස හෙදි කාර්ය මණ්ඩලය දන්වා සිටි පසු ඇය මරදාන ඉමාමුල් අරූස් මාවතේ පදිංචි බවට හෙළි කර තිබේ.
මින් ඉහත මරදාන ඉමාමුල් අරූස් මාවතේ කොරෝනා ආසාදිත අයෙකු හදිසියේ මරණයට පත්වීමත් අනතුරුව එම පවුලේ අයටද කොරෝනා වැළඳී තිබීමත් නිසා විශාල කථාබහක් ඇතිවූ අතර තට්ටු නිවාසයේ නිවාස රැසක්ම වසා දමා පිරිස නිරෝධායනයටද යොමු කෙරිණි.
මෙවැනි තත්වයක් යටතේ ඇය ඇගේ නිවැරදි ප්‍රදේශය සඟවාගෙන ද සොයිසා කාන්තා රෝහලට දරු ප්‍රසූතිය සඳහා ඇතුළත්ව ඇත්තේ ප්‍රදේශය පැවසුවොත් ඇයට අවාසියක් වේයයි යන අදහසිනි.
මීට කලකට පෙර පානදුර ප්‍රදේශයේ ගැබිණි කාන්තාවකද සිය ප්‍රදේශය සඟවා දරු ප්‍රසූතිය සඳහා පානදුර නර්සිං හෝම් එකකට ඇතුළත්වී තිබූ අතර මේ සිද්ධිය ඊට සමාන එකක් බව වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළ අතර සෞඛ්‍ය කාර්ය මණ්ඩල අපහසුතාවයට ලක්කිරීම ගැන ඔහු කණගාටුව පළ කළේය.