පුද්ගලයින් දෙසීය ගණනකට කොරෝනා වයිරසයට ගොදුරු වී ඇති සහ තවත් දහස් ගණනක් කඳවුරුවල සිටින මේ මොහත මැතිවරණයක් පැවැත්වීමට සුදුසු නැතැයි ද සැවොම එක්ව කොරෝනා තුරන් කිරීමට
කැපවීමෙන් කටයුතු කළ යුතු යැයිද කොළඹ අගරදගුරු ගරු මැල්කම් රංජිත් පියතුමෝ පවසති.

අගරදගුරු ගරුතුමෝ මේ බව පැවසූවේ කොළඹ අගරදගුරු මන්දිරයේ 16 බ්‍රහස්පතින්දා පැවැති මාධ්‍ය හමුවේදී ය.

වයිරස ආසාදිතයන් හමු නොවන තත්වයක් අඛණ්ඩව පැවැතියහොත් රට සාමාන්‍ය තත්වයට පත්විය හැකි යැයි ප්‍රකාශ කළ නමුත් තවමත් අප මෙය පාලනය කර ගෙන නැතැයිද අගරදගුරුතුමෝ පැවැසූහ.

එම නිසා ප්‍රමුඛතාව දිය යුත්තේ මැතිවරණවලට නොව මේ කඩුල්ල පැන ගැනීමට යැයි ද අගරදගුරුතුමෝ කීහ.

පුද්ගලයින් දෙසීය ගණනකට කොරෝනා වයිරසයට ගොදුරු වී ඇති සහ තවත් දහස් ගණනක් කඳවුරුවල සිටින මේ මොහත මැතිවරණයක් පැවැත්වීමට සුදුසු නැතැයි ද අගරදගුරුතුමෝ එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළහ.

කොරෝනා වයිරසය ආසාදනය වී සුව වූ ගණන 60කට වැඩි වීමත් මරණ සංඛ්‍යාව 07ක් දක්වා අඩු වීමත් හොඳ තත්ත්වයක් බවද අගරදගුරුතුමෝ ප්‍රකාශ කළහ.

කොරෝනා වයිරසය ආසාදනය වී එහෙත් රෝග ලක්ෂණ නැතැයි ඇතැම් අය සැඟවෙන බවත් ඇතැම් පිරිස් කොරෝනා ආසාදිත පිරිස් කොන් කරන බවත් ඒ දෙකම නොකළ යුතු බවත් අගරදගුරුතුමෝ පැවැසූහ.

ජනතාව ආණ්ඩුව, සෞඛ්‍ය හා ආරක්ෂක ගෙන යන ක්‍රියාමාර්ගවලට උපරිම සහාය දිය යුතු බවද අගරදගුරුතුමෝ කීහ.

අසල්වැසි ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ගණන වේගයෙන් වැඩි වන බව කී අගරදගුරුතුමෝ ඒ සම්බන්ධයෙන් ද විමසිල්ලෙන් සිටිය යුතු යැයි ප්‍රකාශ කළහ.

ආණ්ඩුව, සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල උපදෙස් සැලකිල්ලට ගනිමින් ඉකුත් වසරේ අප්‍රේල් 21, පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සහ විපතට පත්වූ පිරිස් සිහි කරමින් ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ වැඩසටහන අවලංගු කරන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ප්‍රකාශ කළහ.

පූර්ව අනතුරු ඇඟවීම් නොසලකා හරිමින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත්වූවන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි මැල්කම් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ප්‍රකාශ කළහ.

කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා ආණ්ඩුව, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ ගෙනයන වැඩපිළිවෙළ අගය කළ යුතු යැයි මැල්කම් රංජිත් තුමෝ එහිදී ප්‍රකාශ කළහ.