සුගිය  5 වනදා අකුරැස්ස ප්‍රදේශයේදී හඳුනාගත් කොරෝනා ආසාදිතයාගේ පියා වෙනත් හේතුවක් මත ඊයේ (9) කරාපිටිය රෝහලේදී මියයාමෙන් පසු ඇතිවූ සැක සහිත තත්වය මත ගාල්ලේ සුසාන භූමියකදී අද (10) කරන්නට ගිය ආදාහනයට දැඩි ලෙස විරුද්ධවූ දෙන්නෙකු පොලිස් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් වාර්තාවේ.
සිද්ධිය සැකෙවින් මෙසේය.
කොරියාවේ සේවය කර පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන්වී පසුගිය මාර්තු 24වනදින සිය නිවෙස්වලට ගිය පුද්ගලයින් අතරින්
කොරෝනා වයිරසය ආසාදනය වි ඇති කලුතර ප්‍රදේශයේ පුද්ගලයකු පැමිණි බස් රථයේම පැමිණ ඇති අකුරැස්ස ප්‍රදේශයේ පුද්ගලයෙකුටද කොරෝනා වයිරසය ආසාදනයවි ඇති බවට පසුගිය (05) වනදා තහවුරුවි තිබුණි. ඔහුව කරාපිටිය රෝහලට 4 වනදා ඇතුළත් කර 5 වනදා කොරෝනා පරීක්ෂණයෙන් ධනාත්මක වූ පසු අයිඩීඑච් රෝහල වෙත මාරු කර යවා තිබුණි.

අකුරැස්සේ මලිදුව ප්‍රදේශයේ පදිංචි මොහු කොරියාවේ සිට පැමිණි 42 දෙහැවිරිදි පුද්ගලයෙකි.
මොහුට කොරෝනා බව දැනගන්නා අවස්ථාව වනවිට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ඔහුගේ පියාද  ප්‍රතිකාර ලබමින් සිටි අතර

සිව්දරු පියකු වූ ඔහු  බැලිම සඳහා කොරියාවේ සිට පැමිණි  පුතාද ඇඳ ළඟට ගොස් තිබූ  අතර මේ නිසා පියාද කොරෝනා පරීක්ෂණයකට ලක්කරනු ලැබීය. එම පරීක්ෂණයේ දී පියාට කොරෝනා ආසාදනය වී නොමැති බවට තහවුරුවිය.
කෙසේ වෙතත් ඉන් දින දෙක තුනකට පසු ඊයේ කරාපිටිය ශික්ෂණ රෝහලේ 37 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම සිව්දරු පියා මියගොස් තිබේ. ඔහු 72 හැවිරිදිවියේ පසුවන අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියයාම කොරෝනා නිසා සිදුවිණිදැයි නැවතත් සැකයක් පැනනැගුණ නිසා මියගිය පුද්ගලයාගේ ඛේට හා සෙම් සාම්පල පරීක්ෂා කිරීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ලබාගත් අතර හදිසි මරණ පරීක්ෂකවරයා සමග සාකච්ඡාකර ජාත්‍යන්තර නිරෝධායන නීති මාලාවට අනුකූලව පැය 24 ක් ඇතුළත දඩැල්ල ආදාහනාගාරයේ දී අද (10) පෙරවරුවේ ආදාහනය කිරීමට නියෝග කර තිබුණි.

ඔහු මියගිය පසු පැවැත්වූ කොරෝනා සම්බන්ධයෙන් වූ දෙවන පරික්ෂණයේ දී ඔහුට කොරෝනා ආසාදනය වි නොමැති බවට නැවතත් අද (10) උදේ තහවුරුවි ඇති බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පැවසිය.
මියගිය පුද්ගලයා අංශභාග රෝගයට ප්‍රතිකාර ලබා ගත් අයෙකුවූ අතර අංශභාග රෝගය උත්සන්න වී මොලයේ ඇති වූ ලේ ගැලීමකින් ඔහු මියගිය බවට සැක කෙරිණි.
කෙසේ වෙතත් පෙර නියම කරගත් පරිදි

ජාත්‍යන්තර නිරෝධායන නීති මාලාවට අනුකූලව පැය 24 ක් ඇතුළත දඩැල්ල ආදාහනාගාරයේ දී සිරුර ආදාහනය කරන අවස්ථාවේ ඊට බාධා කරන්නට පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ තිබේ.  දඩල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වූ ඔවුන් පවසා ඇත්තේ 'කොරෝනා ආසාදිතයින් අපේ කනත්තේ පුච්චන්න අපි ඉඩ තියන් නෑ 'යනුවෙනි.

දෙවරක්ම සිදු කළ පරීක්ෂණවලින් මියගිය අයට කොරෝනා තහවුරු නොවූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දන්වා ඇතත් මෙම දෙදෙනා එය විශ්වාස නොකරන බව දන්වා තිබේ.
ආදාහනය නතර කරන ලෙසට මරණ තර්ජනය කොට ආදාහනාගාර සේවකයින්ගේ රාජකාරියට බාධා කර ඇති 36 හැවිරිදි සහ 69 හැවිරිදි මෙම දෙන්නා දඩල්ල ප්‍රදේශයේම පදිංචිකරුවන් විය. ඔවුන් මෙල්ල කිරීමට පොලිසිය දැරූ උත්සාහයද අසාර්ථක වූ නිසා ගාල්ල පොලීසිය දෙන්නාව අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් ගාල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.