පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ඊයේ රජය හඳුන්වාදුන් හැඳුනුම්පතේ අංකය උපයෝගි කර ගනිමින් නිවසින් බැහැරට යාමට ලබාදී ඇති අවසරය
නැවත පැහැදිලි කර තිබේ. ඒ අනුව එම නීතිය ඇදිරි නීතිය ක්‍රියාත්මක නොවන ප‍්‍රදේශවල ජනතාවට පමණක් වලංගු බව ඔහු දන්වා ඇත.
ඔහු පවසන්නේ නිවසින් බැහැරට යන පුද්ගලයින්ගේ සංඛ්‍යාව සීමා කිරීම මෙහි අරමුණ බවයි. නව ක‍්‍රමවේදය යටතේ එක් දිනකදී නිවසින් බැහැරට යාමට අවසර හිමිවන්නේ සමස්ත ජනතාවගෙන් පහෙන් එකකටය.
කිසිවෙකුට හෝ නිවසින් බැහැරව යා යුත්තේ ආහාර සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය දෑ මිලට ගැනීමට පමණයි. ඒ සඳහාද පා ගමනින් යා හැකි ආසන්නම වෙළද සැල පමණක් තෝරා ගතයුතුය.
අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා වුවද නිවසින් බැහැරව යාමට මින් ඉදිරියට පුද්ගලයින්ට අවසර ලබාදෙන්නේ ජාතික හැදුනුම්පතේ අංක පාදක කර ගනිමිනි.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ කිසියම් සෞඛ්‍ය හේතුවක් මත ඕනෑම ප්‍රදේශයක පුද්ගලයෙකු රෝහලක් කරා හෝ ඖෂධයක් ලබාගැනීමට අවශ්‍ය ස්ථානයකට යන්නේ නම් අදාළ ලේඛන ඉදිරිපත් කර, හේතු පවසා එම කටයුත්ත කර ගැනීමට ජාතික හැඳුනුම්පත් අංක ක්‍රමවේදය බාධාවක් නොවන බවයි.