ප්‍රවීණ වේදිකා, සිනමා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පි දයා තෙන්නකෝන් මහතා අද (17) ජීවිතයෙන් සමුගත්තේය. මිය යන විට 78 වැනි වියේ පසුවූයේය. ඔහුගේ බිරිය වන්නේ රංගනවේදිනී ග්‍රේස් තෙන්නකෝන්ය.රූපවාහිනියේ "තට්ටු ගෙවල්" ටෙලි නාට්‍යයේ
රඟපෑමෙන් අතිශය ජනප්‍රිය වූ ඔහු
1969 හන්තානේ කතාව සිනමා පටයෙන් සිනමාවට අවතීර්ණ වූ අයෙකි.

මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි සිසුවෙකු වූ දයා ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ සමකාලීන පාසල් සඟයෙක් වූ අතර පතිරාජයන්ගේ
චිත්‍රපට ගණනාවක චරිත වලටද දායක විය. "අහස් ගව්ව", "එයා දැන් ලොකු ළමයෙක්", "බමරු ඇවිත්", "කරුමක්කාරයෝ", "සොල්දාදු උන්නැහැ", "සෙයිලම", "තරණය" වැනි සිනමා පටවල විවිධ චරිත රඟපා ඇත. මෑතකාලීන "ස්වරූප", "දේදුණු ආකාසේ" සහ "28" වැනි චිත්‍රපටවලද ඔහු රඟපෑවේය.
ඔහු වේදිකාව සිනමාව ටෙලි නාට්‍ය ත්‍රිත්ව මාධ්‍යයේම දක්ෂතා දැක්වීය.