මේ දක්වා කොරෝනා වෛරස මර්දනය සම්බන්ධ එක් එක් රටවල් ගෙන තිබෙන ක්‍රියාමාර්ග හා එහි සාර්ථකත්වය ඇගයීම් කරන පර්යේෂණ දෙකක් අන්තර්ජාලය තුළ ප්‍රසිද්ධවී තිබේ.
එක් පර්යේෂණයකින් ලංකාවේ ක්‍රියා කලාපය අගයා ඇති අතර ලෝකයේ අන් රටවල් සැලකීමේදී 9 වැන්නා ලෙසද දක්වා ඇත. අනෙක් පර්යේෂණයෙන් ලංකාව තවමත් අවදානම් කලාපයේ රටක් ලෙස දන්වා ඇති අතර අවදානම් රටවල් අතර 16 වැනියා ලෙස දක්වා ඇත.
ලංකාව හොඳ යයි කියන පර්යේෂණය ශ්‍රී ලාංකික ප්‍රධාන විධායකවරයෙකු යටතේ පවතින
ඕස්ට්‍රේලියාවේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී අධ්‍යාපන ආයතනයක් වන සීඑම්ඒ මගින් ප්‍රසිද්ධ කර තිබේ. එම ආයතනයේ ප්‍රධාන විධායකවරයා මහාචාර්ය ජනක් රත්නතුංග වන අතර එහි ශ්‍රී ලාංකික උපසභාපති ලෙස කටයුතු කරන්නේ ආචාර්ය නාලක ගොඩහේවාය.
මෙම පර්යේෂණ පත්‍රිකාව එම ආයතනයේ ජාත්‍යන්තර මෙහෙයුම් නිලධාරී ක්‍රිස් ඩි සූසා විසින් සම්පාදනය කර ඇත. ඔහු එහිදී ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන වැඩසටහන කෙරෙහි විශේෂ ඇගයීමක් සිදුකර තිබේ.
ඒ මෙසේය.

'වුහාන් හි කොරෝනා වයිරස්  මූලාරම්භය සමඟම, සිදුවිය හැකි අනතුර වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා බලධාරීහු සුපරීක්ෂාකාරී වීමට පටන් ගත්හ.

හමුදා සහ ජාතික බුද්ධි සේවය දැඩි සෝදිසියෙන් සිටියහ. රට තුළට පැමිණෙන සියලුම සංචාරකයින්ගේ ගමන් බිමන් නිරීක්ෂණය කිරීම සඳහා රජය විශේෂිත ගුවන් හා දේශ සීමා පාලන විශේෂඥ කණ්ඩායම් නිර්මාණය කළේය. වුහාන් වෙත ගලවා ගැනීමේ මෙහෙයුම් යවා ඇති පළමු රටවලින් එකක් වන්නේ ශ්‍රී ලංකාවයි.  නිරෝධායනය යටතේ සියලුම සම්බන්ධතා අඛණ්ඩව නිරීක්ෂණය කරන ලදී.

ශ්‍රී ලංකාව මෙතරම් හොඳින් ප්‍රතිචාර දැක්වීමට හේතුව ශ්‍රී ලංකාව තුළ සියලු පුරවැසියන් සඳහා නොමිලේ ලබා දෙන මහජන සෞඛ්‍ය පද්ධතියක් තිබීමයි. සුදුසුකම් ලත් සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සහ පරිපූරක වෛද්‍ය ශ්‍රම බලකායක් පුහුණු කර ඇත. මාතෘ හා ළමා මරණ අනුපාතය වැනි සෞඛ්‍ය සංඛ්‍යාලේඛන කලාපයේ අඩුම අගයයි. ආයු අපේක්ෂාව ඉහළම මට්ටමක පවතී. '
මෙම පර්යේෂණ වාර්තාව අනුව සාර්ථකත්වය අනුව පළමු රට වන්නේ නවසීලන්තයයි. සිංගප්පූරුව, අයිස්ලන්තය හා ඕස්ට්‍රේලියාව ඊළඟ ස්ථාන වලට නම් කර ඇත. ලංකාව 9 වැන්නාය. ජපානය තායිවානය හොංකොං හා යුඒඊ සිටින්නේද ලංකාවට සමතැනකය. ඇමරිකාව 70 බවත් ස්පාඤ්ඤය 95 බවත් දක්වා ඇත.

-------------------------
ශ්‍රී ලංකාව තවමත් අවදානම් තත්වයක පවතින බවට වාර්තා කර තිබෙන දෙවන පර්යේෂණය පළ කර ඇත්තේ සුප්‍රකට ජාත්‍යන්තර සඟරාවක් වන 'ෆෝර්බ්ස්' හිය.  Deep Knowledge Global නමැති පර්යේෂණ ආයතනයක Margaretta Colangelo නමැති පර්යේෂිකාව ප්‍රසිද්ධ කර ඇති මෙම වාර්තාවේදී කොරෝනා පාලනය හොදින්ම කර ඇත්තේ ඊශ්‍රාලය බවට අගයා ඇත. ජර්මනිය , දකුණු කොරියාව හා ඕස්ට්‍රේලියාව ඊළග ස්ථාන වලට තබා ඇත. පළමු 40 අතරේ ශ්‍රී ලංකාව නැත.

අවදානම් රටවල් අතර මුල් තැනට නම් කර ඇත්තේ ඉතාලියයි. දෙවැනියා ඇමරිකාව වන අතර බ්‍රිතාන්‍යය හා ස්පාඤ්ඥය වැඩිම අවදානම ඇති 3 හා 4 රටවල්ය. එම අවදානම් ලැයිස්තුවේ 15 ඉන්දියාව ලෙසත් 16 ශ්‍රී ලංකාව ලෙසත් ඔවුන් නම් කර ඇත. එම පර්යේෂකයින් ප්‍රසිද්ධ කර තිබෙන තවත් ලැයිස්තුවකට අනුව ආසියා පැසිපික් කලාපයේ රටවල් 20 ක් සැලකීමේදී ආරක්ෂාව අතින් පහළ මට්ටමක සිටින රටවල් 8 න් එකක් ලෙසද ශ්‍රී ලංකාව නම් කර ඇත. එයට අනුව ඉන්දියාව ඇත්තේ මැද මට්ටමකය. දකුණු කොරියාව ආසියානු කලාපයේ පළමු වැනියාය.
මෙම අවදානම් රටවල් නම් කිරීමේදී පර්යේෂකයන් සලකා බැලූ සාධක ලෙස දක්වා ඇත්තේ ඒඒ රටවල ආසාදන පැතිරීමේ අවදානම, රාජ්‍ය කළමනාකරණය, සෞඛ්‍ය සේවා කාර්යක්ෂමතාව සහ කලාපීය විශේෂිත අවදානම් තත්වය බව වාර්තාව තුළ පැහැදිලි කර ඇත.

ශ්‍රී ලංකාව හොඳයි කියන පර්යේෂණ පත්‍රිකාව මෙතැනින්  - කණ්ඩායම මෙතැනින්
ශ්‍රී ලංකාව අවදානම් කියන පර්යේෂණ පත්‍රිකාව මෙතැනින් - කණ්ඩායම මෙතැනින්
-------------------------
ශ්‍රී ලංකාව හොඳයි කියන පර්යේෂණ දත්ත හා පර්යේෂණ කණ්ඩායම


--------------------------------
ශ්‍රී ලංකාව අවදානම් කියන පර්යේෂණ දත්ත හා පර්යේෂණ කණ්ඩායම