කොරෝනා වෛරසය ආසාදනය වී ඊයේ (2) රාත්‍රී හතරවැනියා ලෙස මරණයට පත්වූ පුද්ගලයා ගැන විස්තර කිහිපයක් මේ වනවිට වාර්තාවේ.
58 හැවිරිදි පුද්ගලයෙකුවූ ඔහු වාසය කළේ රත්මලාන වෙඩිකන්ද පාරේය. ඔහු සහ ඔහුගේ බිරිය
පසුගිය පෙබරවාරි මාසයේ අග දඹදිව වන්දනාවක නිරතවූ අතර පසුගිය මාර්තු 3 වන දින ලංකාවට පැමිණි පසු මෙම යුවළටම රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නට පටන්ගෙන තිබේ.  කොළඹ අයිඩීඑච් රෝහලට ඔවුන් ඇතුළත්වූ පසුව මාර්තු 18 හා 19 වන දිනවල ලැබුණ

වෛද්‍ය වාර්තා අනුව දෙන්නාටම කොරෝනා වැළඳී ඇති බවට හඳුනාගෙන ඇත.

ඔවුන් දඹදිව සංචාරය අතර එරටදී රෝගය සම්ප්‍රේෂණය වන්නට ඇති බවට සැක කෙරිණි.
ගුවන් තොටුපොලේ දී ඉතාලියෙන් ආ පිරිසකට ඔවුන් මැදිවූ බවටද තොරතුරු තිබේ.
වෛරස ආසාදනය මෙම පුද්ගලයාගේ බිරියට දරුණු ලෙස පීඩාකළේ නැති අතර ඇය පසුගිය සතියේ රෝගය සුවවීම නිසා රෝහලින් පිටව ගිය නමුත් මියගිය පුද්ගලයා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබුනේ රෝගයේ පීඩාව වර්ධනය වූ නිසයි.

 අවසානය වනවිට නිව්මෝනියා තත්වයට පත්ව ඔහු ඊයේ (2) රාත්‍රී මියගියේය. අවසන් කටයුතු අද (3) උදෑසන සිදු කරන්නට නියමිතව තිබුණි.