කොරෝනා වෛරස ව්‍යාප්තිය මත ඇතිව තිබෙන තත්ත්වය මත මහ මැතිවරණය පැවැත්වීම සහ යළි පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් ගැටලූ පැනනැගී තිබේ. මැතිවරණ කොමිසම, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇත්තේ ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන ලෙසයි.

එම කොමිෂන් සභාව ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර වෙත ලිපියක් යොමු කරමින්. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මේ මස 25 වන දින මහ මැතිවරණය පැවැත්විය නොහැකි බව දන්වා ඇත.
පාර්ලිමේන්තුව රැස්වන දිනය ජනාධිපතිවරයා විසින්  ගැසට් නිවේදනයකින් ප‍්‍රකාශයට පත් කළ යුතු අතර එම දිනය පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස 03 කට පෙර දිනයක් විය යුතු බැවින් ඉදිරි මැතිවරණ දිනය කල්යාම මත එම කොන්දේසි සපුරාලීම අපහසුවී ඇත.
 නව පාර්ලිමේන්තුව ජුනි මස 01 වැනිදා රැස්විය යුතු බැවින් උපරිම වශයෙන් මැයි මස 27 හෝ 28 යන දිනවල මහ මැතිවරණය පැවැත්විය යුතු බවද එසේ වන්නේ නම්, ලබන අප්‍රෙල්  20 වැනිදා සිට හෝ සිය නිලධාරීන් මැතිවරණ කටයුතු ආරම්භ කළ යුතු බව ද  දැන් පවතින තත්වය මත එය ප්‍රායෝගිකව සිදු කළ නොහැකි බවද දන්වා ඇත.
ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවූ දිනයේ සිට මාස 03 ක් ඇතුළත නව පාර්ලිමේන්තුව රැස්විය නොහැකි බැවින් මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණය පිළියමක් දිය යුතු යැයි දන්වා ඇත.