පෙරේදා අවිස්සාවේල්ල රෝහලෙන් IDH වෙත එවූ හමුදා සාමාජිකයෙකු කොවිඩ් ආසාධිත වී ඇති බව තහවුරු කොට පසුව කළ පරීක්ෂණ වලින් එසේ නැති බව හෙළිවූ සිදුවීමක් වාර්තා විය. කොරෝනා ධනාත්මකවූ බවට හෙළිවී බරපතල තත්වයෙන් IDH හී ප්‍රතිකාර සදහා යොමු කළ ඔහු සම්බන්ධ සිදුවීම මෑත කාලයේ වර්තාවන විශේෂ සිදු වීමකි. දැනට එම රෝගියා සම්බන්ධ වාර්තාවන තොරතුරු මෙසේය :

ඔහු අනුරාධපුර පණ්ඩුලගම ප්‍රදේශයේ යුධ හමුදා කඳවුරකට අනුයුක්තව රාජකාරී කල හමුදා භටයෙකි.. පසුගියදා නිවාඩු ලබා හමුදා බස් රථයකින් කඳවුරෙන් පිටත් වී කලුඅග්ගල මාඹුල ප්‍රදේශයේ ඔහුගේ නිවසට පැමිණ තිබේ.

ඔහු නිරෝධායන මධ්‍යස්ථාන ආශ්‍රිතව රාජකාරී කල අයෙකු නොවේ.


ඔහු යම් අසනීප තත්වයක් මත අප්‍රේල් 16 වනදා කොස්ගම සාලාව රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කර තිබේ. එහිදී කොවිඩ් ලක්ෂණ පහළ වූ නිසා ඔහුව IDH රෝහලට මාරු කර යවා තිබේ.

ඔහු සම්බන්ධ පළමු PCR පරික්ෂණයෙන් කොවිඩ් ආසාධනය හෙලි නොවූවත් 17 රාත්‍රී ලබා ගත් සාම්පල දෙවන වර පරීක්ෂා කිරීමේදී රෝග තත්වය තහවුරු වී තිබේ.
ඒ අනුව කළුඅග්ගල මාඹුල ප්‍රදේශයේ ඔහු සමීපව ඇසුරු කල 29 දෙනෙකුගේ ජෛව පටල සාම්පල PCR පරික්ෂණ සඳහා ලබා ගෙන ඇති අතර ප්‍රදේශයේ නිවාස කිහිපයක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.

ඔහු සේවය කල අනුරාධපුර කඳවුර වසා දමා හුදෙකලා නිරෝධායන කලාපයක් බවට පත් කර තිබේ.. ඊට අමතරව එම කඳවුරේ සිට නිවාඩු ලබා පිටතට ගිය හමුදා සාමාජිකයන්ද නිරෝධායනයට යොමු කර තිබේ..
එම රෝගියාට ප්‍රතිකාර සදහා සම්බන්ධ වූ සෞඛ්‍ය සේවකයන්ද නිරෝධායනයට යටත් කර තිබේ.

IDH රෝහලට මාරු කර යවා තිබූ ඔහු ගැන වෛද්‍යවරුන් නැවත සැක පහළ කළ අතර ඔහුට තෙවැනි පීසීආර් පරීක්ෂණය සිදු කරන්නට කටයුතු තළ අතර එහිදී කොරෝනා නැති බව හෙළිව ඇත. මේ ගැන තවත් සැක නිසා 4 වැනි පීසීආර් පරීක්ෂණයද සිදු කළ අතර එහිදීද කොරෝනා නැති බව තහවුරුවී ඇත.
වෛද්‍ය මතය වන්නේ පීසීආර් පරීක්ෂණ ඇතැම් විට දෝෂ සහිත වියහැකි බවයි.
මෙම සිදුවීම මෑත කාලයේ හමු වූ විශේෂ සිදුවීමක් විය.