අගලවත්ත දාපිළිගොඩ ගම්මුද්දරවත්ත ප්‍රදේශයෙන් තවත් නව කොරෝනා  ආසාදිතයෙක් අලූතින් හඳුනා
ගැනීමත් සමගම එම ප්‍රදේශයෙන් මෙතෙක් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව හත දක්වා ඉහළ නැග
ඇතැයි අගලවත්තේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.



මෙසේ නව ආසාදිත වශයෙන් හඳුනා ගෙන ඇත්තේ වැලිසර නාවික හමුදා කඳවුරේ සේවයේ නියුතු වෛරසය
ආසාදිත වූ දැනට රෝහලේ ප්‍රතිකාර ලබන නාවික සෙබළාගේ මස්සිනා කෙනෙකු බව ද ,ඊයේ ( 29)
 දින  මෙම ප්‍රදේශයෙන් ආසාදිතයන් පස්දෙනෙකු වාර්තා වීමත් සමග ,මෙම පුද්ගලයා ද රෝගී ලක්ෂණ
පෙන්නුම් කර ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පවසයි. 

එදිනම මෙම පුද්ගලයා ඇතුලත් කර ඇති අතර  ,එහිදී සිදු කරන ලද  පීසීආර් පරීක්ෂණයට අනුව එම
පුද්ගලයාට  වෛරසය ආසාදිත වී ඇති බව තහවුරු වී ඇතැයි  අගලවත්තේ සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරි
කාර්යාලය පවසයි.

මෙම නව ආසාදිතයා නෙළුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ,සිය මස්සිනා වන නාවික සෙබලා‌ගේ
 ගෙදර නතරවී  සිටීම නිසා ආසාදනයට  ලක්ව ඇතැයි සෞඛ්‍ය නිලධාරීන් පවසයි.

මෙම ප්‍රදේශයේ නිවාස හතරක් මේ වන විට නිරෝධායනයට ලක් කර ඇති අතර ,එම නිවාස පිහිටි
ප්‍රදේශයේ දැඩි අවදානම් කලාපයක් ලෙස ද නම් කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත.

ප්‍රේමතිලක පෙරමුණ/අගල වත්ත  වත්ත ධනුෂ්ක ලංකා නානායක්කාර