නව කොරෝනා වෛරස වසංගතය පැතිරීම හේතුවෙන් ජනතාවට තමන් කැමති ස්ථානයන් වෙත ගමන් කිරීම තහනම්ව ඇති මෙවන් අවස්ථාවක දකුණු ෆ්ලෝරීඩාහි තිබෙන අවන්හලක් ප්‍රතිසංස්කරණය කිරීමේදී ඔවුන්ට හමු වූ මංගල මුදුවක් එහි අයිතිකාරයන් වෙත ලබාදීමට එම හෝටල් හිමිකරු කටයුතු කර තිබීම බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ පුවතකි.




මෙම මුදුව අයිති යුවළ 2017දී මෙම අවන්හල තුළ ආහාර ගැනීම ගනිමින් සිටින අවස්ථාවේදී ඔවුන්ගේ මංගල මුද්ද ඇඟිලි තුළින් ලිස්සා වැටී තිබේ. නමුත් එම මුදුව ලබාගත නොහැකි ස්ථානයකට එය වැටීම හේතුවෙන් එම යුවළ තමන්ගේ මංගල මුදුව පිළිබඳව ඇති ආසාව අත්හැර දමා සිට ඇති බව වාර්තා විය.

කෙසේ වෙතත් මෙම නව කොරෝනා වෛරසය හේතුවෙන් තමන්ගේ අවන්හල වෙත මෙම කාලවකවානුව තුළ පාරිභෝගිකයන් නොපැමිණෙන බැවින් හෝටල් කළමනාකරු රයන් ක්‍රිවෝයි මෙම අවන්හල අලුත්වැඩියා කිරීමට කටයුතු කර තිබුණි. ඒ අවස්ථාවේදී ලී තට්ටුවක් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා එම තට්ටුව ඉහළට ඔසවන විට, ඔහුට රන් කාසියක් සහ ඩොලර් 100 ක බිල්පත් ඇතුළු විවිධාකාර වස්තු සොයා ගැනීමට හැකිව තිබේ. මෙම වස්තූන් අතර මයික් සහ ලීසා 08-21-15 යනුවෙන් කැටයම් කර ඇති රිදී මංගල මුද්දක් මඩ ගොඩවල් තුළින් දිලිසෙන බව ඔහු දැක තිබේ.


මුලින් ප්‍රතිචාරයක් නොලැබෙනු ඇතැයි සිතමින් අවන්හලේ අලෙවිකරණ කළමනාකරු එම මුද්ද පිළිබඳ පින්තූරයක් ෆේස්බුක් හි පළ කිරීමට තීරණය කොට ඇත. කෙසේ වෙතත් එය මයික් සහ ලීසා වෙත හමුවීමට පෙර 5,000 වතාවක් පමණ බෙදාගෙන තිබුණි.

ෆේස්බුක් සටහන ප්‍රචාරය කර දින තුනකට පසු බිරිඳ මුද්ද ඉල්ලා සිටි බව ඔවුන් පවසා තිබුණි.  එමෙන්ම මෙම මුදුවේ අයිතිකරු වන ලීසා 2017 දී අවන්හලේ ඇය සහ ඇගේ ස්වාමිපුරුෂයා ආහාර ගන්නා අයුරු දැක්වෙන පින්තූර පවා සාක්‍ෂියක් ලෙස යවා ඇති අතර, එම මුදුව ඇඟිලි තුළින් ලිස්සා ලී පුවරු සහිත බිම පෙරළී ගිය බව පැහැදිලි කොට ඇත.
අවසානයේ ලීසාට අවුරුදු තුනකට පසුව තමන්ගේ මංගල මුදුව සොයාගැනීමට හැකිවී තිබේ. සමාජ මාධ්‍යයේ බොහෝදෙනාගේ කතාබහට පත් වූ මෙම අපූරු පුවත ප්‍රචලිත වූයේ මෙම විවාහක යුවළගේ ඡායාරූපද සමඟිනි.
- රිෂ්මි ඉෂාරා -