කොරෝනා වෛරසය 2019 ඔක්තෝබර් මාසයේ චීනයට වැටුණ උල්කාපාතයක් ඔස්සේ පැතිරුණ විෂබීජ නිසා ලෝකයට ආ බවට කීර්තිමත් ශ්‍රී ලාංකිකයකු වන තාරකා ජීවවිද්‍යාව පිළිබඳ බකිංහැම් මධ්‍යස්ථානයේ මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ මතයක් පළ කර තිබෙන අතර මේ වනවිට එම කාරණාව ජාත්‍යන්තර මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති කර තිබේ.
මෙම උල්කාපාතය වැටෙන දර්ශනද අදාළ දිනයේ චීනයේ ස්ථානගත සීසීටීවී කැමරා ගණනාවක
වීඩියෝ ගතවී ඇත. ඔක්තෝම්බර් මාසයේදී චීනය පුරා පුපුරා ගිය අභ්‍යවකාශයේ සිට ආ උල්කාපාත වෛරස් අංශු  සුළං මගින් රෝගය දැඩි ලෙස පීඩාවට පත් රටවලට ව්‍යාප්තවී ඇති බව ඔහු පැහැදිලි කර තිබේ.
වෛරසය දැඩිව බලපා ඇති රටවල් සැලකීමේදී එම සුළං අංශු ගමන් කළ දිශාවට සමානුපත යයිද ඔහු පවසයි.
පෘථිවියට වැටී හෝ පෘථිවිය වටා ගමන් කරන ආන්තික

ගෝලාකාර වායු ධාරාවන්ට වෛරසය හසු වූ බව ඔහු ලන්ඩනයේ පළවන ඩේලි මේල් පුවත්පතට පවසා තිබේ.
වැටුණ ස්ථානයේ සිට වෛරසය 'උතුරු අක්ෂාංශ 40-60  අතර ගෝලීය කලාපයක්' පුරා පැතිරී ඇති බවත්, පසු විමර්ශනය සැලකීමේදී සියලු 'ප්‍රධාන ප්‍රබල අවස්ථා' හරියටම 'එම පරාසය දිගේ' දිස්වන බවත් ඔහු පැවසීය.
කෙසේ වෙතත්, බෝවන රෝග විශේෂඥයන් මහාචාර්ය වික්‍රමසිංහගේ ප්‍රකාශය නිෂ්ප්‍රභ කර ඇත්තේ, COVID-19 වෙනත් දන්නා කියන වෛරස වලට සමාන බව සඳහන් කරමිනි.
මෙය මිනිසුන්ට සම්ප්‍රේෂණය වූයේ සතුන්ගෙන් මිස මෑත උල්කාපාත වැටීමකින් නොවන බව ඇතැමෙකු පැහැදිලි කර තිබේ.
මහාචාර්ය වික්‍රමසිංහ ගෙන එන මෙම අදහස 'පැන්ස්පර්මියා' සංසිද්ධියක් ලෙස විද්‍යාත්මකව පැහැදිලි කර ඇත. තාරකා ජීව විද්‍යාඥයෙකු වූ ඔහු මීට ඉහත සාර්ස් වෛරසය චීනයේ පැතිර ගිය අවස්ථාවේදීද මෙබඳු අදහස් ගෙන ආවේය.
කොරෝනා තත්වය ඇති කරවූ උල්කාපාතය 2019 ඔක්තෝබර් 11 වන දින අළුයම 12: 16 ට පමණ චීනයේ ඊසාන දෙසින් අහස හරහා පියාසර කරන දීප්තිමත් ගිනි බෝලයක් ලෙස දැකගත හැකි විය.
අහස දීප්තිමත් ලෙස බැබළුණු බව වාර්තා වන අතර එය රාත්‍රී අහස මොහොතකට දවාලක් බවට  පත් කළේය - එය වැටුණ තැනක් නැති අතර වායුගෝලයේ බිඳී ගොස් ඇතැයි සැලකේ.
ආසාදිත වෛරස් අංශු ට්‍රිලියන සිය ගණනක් සියුම් කාබනීක දූවිලි ස්වරූපයෙන් මුදා හැරීමට ඇති බව පෙනෙන්නට තිබෙන බව මහාචාර්යවරයා දක්වයි.
බෝවන රෝග කාරක අභ්‍යවකාශයේ බහුලව පවතින බවත්, වල්ගා තරු රැගෙන යන බවත්, නිවර්තන කලාපය හරහා පෘථිවිය දෙසට ඇද වැටිය හැකි බවත් මේවා අතීතයේ දී මිනිස් රෝග වසංගත ඇති කිරීමට හේතුවූ බවද ඔහු පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, විද්‍යාත්මක ප්‍රජාව බොහෝ දුරට මහාචාර්ය වික්‍රමසිංහගේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කර ඇත.
“SARS-CoV-2 උල්කාපාතයකින් නොපැමිණි බවට ඇති වඩාත්ම ප්‍රබල සාක්ෂිය නම් එය වෙනත් දන්නා වෛරස් සමඟ සමීපව සම්බන්ධ වී තිබීම බව”  ලන්ඩන් විශ්ව විද්‍යාල විද්‍යාලයේ බෝවන රෝග විශේෂඥ ඩොමිනික් ස්පාර්ක්ස් IFLScience වෙත පවසා තිබේ.

“එය 2000 දශකයේ මුල් භාගයේ පුපුරා යාමට හේතු වූ SARS (දරුණු උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝම්) වෛරසය හා දැනට රෝග ඇති කරන MERS (මැද පෙරදිග ශ්වසන සින්ඩ්‍රෝමය) වෛරසය සමඟ සමීපව සම්බන්ධ වේ,” ඔහු තවදුරටත් පැවසීය.
'SARS යනු වවුලන්ගේ වෛරස් අංශු බළලුන්ට මිනිසුන්ට මාරු කිරීමේ ප්‍රතිපලයක් බව සොයා ගත් අතර MERS ඔටුවන්ගෙන් මිනිසුන්ට ලබා දුන් බවද ප්‍රකටවූ කරුණක් එබැවින්, මේවාට සමීපව සම්බන්ධ කොරෝනා වෛරසය වෙනස් ආකාරයකින් මිනිසුන්ට ලබා දී ඇතැයි උපකල්පනය කිරීමේ සම්භාවිතාවය අවමය' යනුවෙන් ඔහු දන්වා ඇත.
කෙසේ වෙතත් මහාචාර්ය වික්‍රමසිංහ මෙම තර්ක ප්‍රතික්ෂේප කර ඇති අතර, මිනිසුන් සහ වවුලන් වැනි සතුන් තුළ ඇති කිරීටක අනුක්‍රමික අනුපිළිවෙලෙහි ඇති සමානකම 'අතිශයින්ම සැක සහිත' බවත් එය 'නැවත විශ්ලේෂණය කෙරෙමින් පවතින බවත්' කියයි. ඒවා සමාන වුවත් මෙය සනාථ නොවනු ඇත වෛරසය අභ්‍යවකාශයෙන් පැමිණි බව මා කියන්නේ ඒ නිසාය යනුවෙන් ඔහු නැවත පවසයි.
මහාචාර්ය වික්‍රමසිංහගේ අදහස තවත් තැනකින් පුතික්ෂේප වන්නේ සුළගින් බෝවන කතාව අනුවය.
කොරෝනා වයිරසය සුළඟින් පැතිරෙන්නේ නැති බව විශේෂඥයන් මීට පෙරද සඳහන් කර ඇත.
“වෛරසය වාතයෙන් පැතිර යා හැකි වුවත්, එය කිලෝමීටර් කිහිපයක් ගමන් කිරීමෙන් පසු මිනිසුන්ට නොසලකා හැරිය හැකි තරමට එය තුනී වනු ඇත,” කාලගුණ විද්‍යාඥ ලැම් චියූ-යින් පසුගිය මාසයේ පවසා තිබේ.
"මේ ආකාරයේ විකාර සමඟ ඇති කරදරය නම්, එය ආසාදනයන් සොයා ගැනීමට, ඒවාට මුහුණ දීමට සහ වැළැක්වීමට දැනට සිදු වෙමින් පවතින පර්යේෂණ වලට බාධා කිරීමය“  ලැම් චියූ-යින් පවසා තිබේ.

 මහාචාර්ය වික්‍රමසිංහ ගෙන එන තර්කයට මුල්වූ චීනයට කඩා වැටුණ උල්කාපාතය වැටුණ හැටි දැක්වෙන අවස්ථා කිහිපය පහත වීඩියෝවේ දැක්වේ.