තමන්ව ‌හෙට දිනයේදී ශ්‍රී ලංකා භාරයට ‌ගන්නැයි ‌මේ වන විට ‌ලෝක සවාරියක ‌යෙදෙන MSC මැග්නිෆිකා ‌නෞකාවේ ‌සේවය කරන එකම ශ්‍රී ලාංකිකයා වන අනුර බණ්ඩාර මහාත ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරනවා.
එම ‌නෞකාව ‌හෙට (06) දිනයේදී ‌කොළඹ වරායට ‌සේන්දු වීමට නියමිතයි.

ඒ මහතා සඳහන් කරන්නේ මගීන් 2700ක් පමන සිටින ‌මෙම ‌නෞකාව ජනවාරි 05වනදා ගමන් ආරම්භ කළ බවයි.

නමුත් පවතින තත්ත්වය ‌හේතුවෙන් සංචාරය ඔස්ට්‍රේලියාවේදී නවතා දැමීමට සිදුවූ බවත් කිසිඳු වරායකට ‌නෞකාව භාර ‌නොගැනීම ‌හේතුවෙන් එය නැවත මවු ශාඛාව වන ඉතාලිය බලා ගමන් කරන බවත් ඒ මහතා සඳහන් කර තිබෙනවා.

ඔහු සඳහන් කරන්නේ කිසිඳු ‌කොරෝනා ආසාදිතයකු තවමත් ‌නෞකාවෙන් හමුවී නැති බවයි.

හෙට (06) ‌නෞකාව සැපයුම් ලබා ගැනීම සඳහා ‌කොළඹ වරායට ‌සේන්දු වන බවත් පැය 03ක පමන කාලයක් එහි රැඳී සිටින බවත් ඒ මහතා සඳහන් කරනවා.

එබැවින් එම අවස්ථාවේදී තමන් ‌මෙරටට භාරගන්නා ‌ලෙසයි ඔහු ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

එසේ ‌නොවුනහොත් තමන්ට නැවත වරක් යුරෝපය බලා පිටව යෑමට සිදුවන බවයි ඔහු ‌පෙන්වා ‌දෙන්නේ.

තමන්ව ‌හෙට දිනයේදී දිවයිනට භාරගතහොත් මසක් ‌හෝ ‌දෙකක් වුවත් නිරෝධායනයට ලක් වීමට සූදානම් බවයි ඒ මහතා සඳහන් කර ඇත්තේ.