ද(7) කොරෝනා වෛරස් ආසාදනය නිසා අයිඩීඑච් රෝහලේදී මියගිය 80 හැවිරිදි පුද්ගලයා ගැන මේ වනවිට තොරතුරු කිහිපයක් ලැබී තිබේ. මීට දින කිහිපයකට පෙර දෙහිවල නැදිමාල රබර්වත්ත පාර ප්‍රදේශයේ පවුලකටම කොරෝනා වැළඳුණ ආරංචිය ආවේ මොහු ඇතුළු පිරිස ගැනය.
මියගිය පුද්ගලයා 80 හැවිරිදි වයෝවෘද්ධ වියේ පසුවු අතර ඔහුගේ බෑනා සංචාරක මගපෙන්වන්නෙකු ලෙස
රැකියාව කරමින් සිටි අයෙකි. මොහුට කොරෝනා වැළඳෙන්නට ඇත්තේ කොරෝනා අවදානම මත ලංකාවේ පාසල් වසා කිසියම් අන්තරායකාරී වාතාවරණයක් රට තුළ මතුවූ කාලයේ ඕස්ට්‍රේලියාවේ සිට ලාංකාවට පැමිණ සිටි සංචාරකයන් පිරිසකට නිරාවරණය වීමෙන් බවට සැක කෙරේ.

පසුගියදා කළුබෝවිල රෝහලේදී තමන්ට වැලඳී ඇති රෝගය පිළිබඳව වසන්කරමින් කොරෝනා ආසාදිත බවට පසුව හඳුනාගත්තේද මොහුය.
දෙහිවල, නැදිමාල, රබර්වත්ත පාර, අරුණාලෝක මාවතේ පදිංචිව සිටි මෙම මියගිය පුද්ගලයාගේ බිරිය,පුතෙකු ,දුව ,බෑනා සහ මුණුපුරෙකු මෙම නිවසේ වාසය කළ අතර මේ වනවිට බිරියට බෑනාට හා මුණුපුරුටද කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව තහවුරුවී ඇත. මෙම පවුල පිටින්ම පසුගිය සතියක කාලයක සිට අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 80 හැවිරිදි මොහු මියගියේය.

නැදිමාල අරුණාලෝක මාවතේ නිවෙසේ ඔවුන් පදිංචිව සිටි අතරවාරයේ ඊට ටික දුරක් ඈතින්  අත්තිඩිය, පැරකුම්බා මාවත ප්‍රදේශයේ මියගිය පුද්ගලයාගේ පුතාට අයත් නිවෙසක මාර්තු 14 වැනි දින සිට ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි සංචාරකයන්  නවාතැන් ගෙන සිට ඇති බවත් වාර්තා විය.

මියගිය තැනැත්තා විටින් විට දෙහිවල, නැදිමාල, රත්මලාන, කරගම්පිටිය වැනි ප්‍රදේශයන් කරා ගමන් කර තිබූ බවත් නැදිමාලේ පදිංචි නෑ හිතමිතුරන් පිරිසක් සමඟ කරගම්පිටිය ප්‍රදේශයේ පිහිටි ස්ථානයක සංග්‍රහයක් සඳහා ද සහභාගි වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබුණි. එසේම රෝග තත්වය වැළඳුණ පසු ඒ බව නොදැන නැදිමාලේ පුද්ගලික රෝහලක ප්‍රතිකාර සඳහා ඇතුළත්වී තිබූ බවද වාර්තාවිය.
මොහුට කොරෝනා වැළඳුණ ආරංචිය නිසා කළුබෝවිල රෝහලේ පසුගියදා නොසන්සුන් තත්වයක් ඇතිවූයේ ඔහු රෝග තත්වය සඟවා තිබූ බව හෙළිවීමෙනි.

මෙම සිද්ධිය සැලවීමෙන් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙන්ම දෙහිවල මහනගර සභා නිලධාරීන් විසින් මෙම රෝගීන් හඳුනාගත් නැදිමාල අරුණාලෝක මාවත ප්‍රදේශයේ පිහිටි නිවෙස මුද්‍රා තැබූ අතර ආගිය සියලු තැන් වල සිටි පිරිස් නිරෝධායනයට පියවර ගෙන තිබුණි.
මෙම පුද්ගලයාගේ ආදාහන කටයුතු අද දහවල් කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී සිදු විය.