මේ දක්වා ලංකාවේ වාර්තාවූ කොරෝනා ආසාදිතයින් සම්බන්ධ වැඩියෙන්ම තැතිගන්වන සුලු ආරංචියක් ඊයේ සන්ධ්‍යා කාලයේ වාර්තා විය. ඒ නාවික හමුදාවේ සෙබළුන් 30 කට කොරෝනා වැළඳී තිබී හමුවීමය. වැලිසර නාවික හමුදා කඳවුරේ සිටි පොළොන්නරු ප්‍රදේශයේ සෙබළාට මුලින් මෙම ආසාදන ලක්ෂණ පහළවී කොරෝනා ධනාත්මකවූ පසු සිදු කළ ආගියතැන් පරීක්ෂණ අනුව
දෙවනුව ඔහුගේ මිතුරෙකුවූ වාරියපොළ නාවික සෙබළෙකුට ආසාදනයවූ බවට තහවුරු කරගත් අතර තෙවැනුව මේ දෙන්නාම සේවය කරන වැලිසර කඳවුරේ 28 කට වැළඳී ඇති බව තහවුරු විය.

මෙම 28 දෙනා මතුවූයේ අදාළ කඳවූරේ සිදු කළ පීසීආර් පරීක්ෂණ 50 ක ප්‍රතිඵල වලිනි. මුලින්ම ආසාදනය හසුකරගත් පොළොන්නරුවේ පුලතිසිගම සෙබළාට කොරෝනා ආවේ කොහෙන්දැයි නිශ්චිතවම හදුනාගන්නට බැරිව ඔහු ආගිය දැන් ගැන පුළුල් ලෙස විමර්ශනයක් කරන්නට කොරෝනා මර්දන බලධාරීන් කටයුතු කරමින් සිටි නමුත් මේ වනවිට තහවුරුවී ඇත්තේ

සියල්ලන්ට ආසාදනය සිදුව ඇත්තේ මීට සති කිහිපයකට පෙර සුදුවැල්ලේදී ආසාදිත මත්කුඩු භාවිත තරුණයින් නිරෝධායන ක්‍රියාවලියට සම්බන්දව මෙම සෙබළුන් කටයුතු කළ නිසා බවය.
ජාඇල සුදුවැල්ලේ දැැඩි ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වුණ 28 හැවිරිදි අයකු නිසා පවුල් 300ක් පමණ පදිංචිව සිටින ජාඇල සුදුවැල්ල ගම පසුගියදා අවදානමට ලක්විය.

පළමුවෙන්ම කොරෝනා ආසාදිත පුද්ගලයා හමුවූ අයුරුද විශේෂිතය. මොහු මත්කුඩු ගැනීමට මුදල් නොමැතිව පමුණුගම නිවෙසක් බිඳීමට තැත් කිරීමේදී එම පෙදෙසේ ගම්වාසීන්ට කොටුවී දරණු ප‍්‍රහාරයකට ලක්විය. අනතුරුව සැකකරු පමුණුගම පොලිසියට භාරදෙනු ලැබීය. පහර කෑමට ලක්ව සිටින සැකකරු පොලිසිය විසින් රාගම රෝහලට රැගෙන යනු ලබන්නේ ප‍්‍රතිකාර ලබා දෙනු පිණිසය. මෙහිදී මොහු තමාට කැස්ස හා උණ ඇති බවට පැවසීම නිසා වෛද්‍යවරු සැලකිලිමත් වන අතර කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වන්නේ එහිදී කරන ලද පරීක්ෂණවලදීය. එසේ හෙළිවීමත් සමගම සියලූ දෙනාගේ ඉහ මොළ රත්වන්නේ මේ කුඩු ලෝලියා පසුගිය සති කීපය පුරා ගමක් ගානේ ඇවිද ගොස් තිබූ නිසාය.

සිද්ධියේ බරපතළකම වටහා ගත් බලධාරීහු මෙහි වැඩිදුර නිරීක්ෂණ කටයුතු නාවික හමුදා බුද්ධි අංශයට සහ පොලිස් විශේෂ කාර්ය බළකායට භාර දී තිබුණි. ඔවුහු කුඩු ලෝලියා ආගිය තැන් නිරීක්ෂණය කර ඔවුන් නිරෝධායනයට යොමු කරන්නට උත්සාහ කර තිබුණි.
කුඩු ලෝලියා සමග ඇසුරු කළ බහුතරයක්ම කුඩුවලට ඇබ්බැහි වී සිටි අතර කුඩු ලෝලීන් කිසිවෙකු කියන දෙයක් ගණන් ගත්තේ නැත.  මේ නිසා ඔවුන්ට අවවාද කරන්නට ප්‍රදේශයේ කතෝලික ආගමික නායකයින් වෙත ඔවුන් යොමු කරන්නටද නාවික හමුදාවට සිදුවිය.

නිරෝධායනය නොවී කට්ටි පනිමින් සිටියදී හමුවූ කෙරෝනා ආසාදිතයන් මේ අය නාවික හමුුුුුුුුදා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට වැලිසර නාවික හමුදා සෙබළුන් මහත් පරිශ්‍රමයක් ගනිද්දී ඔවුන් සමග සමීපව කටයුතු කරන්නට වූයේ කොරෝනා වෛරස වැළදීමේ අවදානම දරාගෙනය.

ආසාදනයට ලක්වූ කුඩුවලට ඇබ්බැහිවූ පුද්ගලයා සමග ඉතා ළඟින් සබඳතා පවත්වා සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නොතකා නිරෝධායනය නොවී කට්ටි පනිමින් සිටි අය පසුපස හඹාගොස් නාවුක හමුදා බුද්ධි අංශයේ මූලිකත්වයෙන් ප‍්‍රදේශයේ සිදුකරන මෙහෙයුම්වලදී නාවුක හමුදා භාරයට ගෙන නිරෝධායතන මධ්‍යස්ථානවලට විශාල පිරිසක් යොමු කරන ලදි.
ජාඇල සුදුවැල්ල ප‍්‍රදේශයේ 11 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වී තිබුණි.
 මේ වන විට සුදුවැල්ල ප‍්‍රදේශයෙන් පුද්ගලයින් 129දෙනකු ඔලිව්ල්, නචිචි කුඩා, මුලන් කෝවිල් යන නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කර ඇත.
සෙබළුන්ගේ මෙම ක්‍රියාන්විතය නිසා අවසානයේ ඔවුන්ට සිදුවූයේ කොරෝනා තමන්ටද සාදාගන්නටය.
මේ වනවිට වැලිසර කඳවුරේ නිවාඩු ගිය නාවික සෙබළුන් නැවත කැඳවා ඇත්තේ කොරෝනා පරීක්ෂණ සිදු කරන්නටය. ඔවුන් අතරින්ද තවත් රෝගීන් හමුවිය හැකිය.