ළැඹෙන 20 සඳුදා සිට රටේ දැනට පවතින ඇඳිරි නීති තත්වය වෙනස් කර කාර්යාල කටයුතුද සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමේ සූදානමක් ගැන රජයේ පාර්ශ්වයෙන් ඉඟි පළවී තිබේ. කෙසේ නමුත් නිල වශයෙන් ඒ ගැන තවම දැනුම්දීමක් සිදු කර නැත. මීට ඉහත පසුගිය අප්‍රේල් 09 වනදා ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී
කියා තිබුනේ
' මාර්තු මස 19 දින සිට අප්‍රේල් මස 19 වෙනිදා දක්වාමේ රටේ සංචරණය සීමා වී තිබෙන නිසා කොවිඩ් රෝග ලක්‍ෂණ හඳුනාගැනීමට එම දින 30 ක කාලය ප්‍රමාණවත් - රෝග ලක්‍ෂණ තිබි එය පහව යාමට දින 30 ක කාලය ප්‍රමාණවත් බව වෛද්‍ය නිර්දේශයයි.
ඒ නිසා, අප්‍රේල් මස 19 වෙනිදා දක්වා රජය විසින් පනවා ඇති නීතිරීති වලට අවනත වී සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් පිළිබඳව සැලකිලිමත් වෙන්නැයි ඉල්ලනවා.' යනුවෙනි.

ඒ අනුව 20 වනදායින් පසු පවතින අවදානම ඉවත්වන ස්වරූපයක් ඇමතිනිය අදහස් පළ කළ අතර ඉන්පසු දිනවලදී යූජීසී ප්‍රධානියා විශ්ව විද්‍යාල නැවත ආරම්භ කරන දිනයත් ඇමති ඩලස් පාසල් ඇරඹෙන දිනයත් මැයි මාසයේ මුල් සති තුළ ප්‍රකාශයට පත්කරන්නට යෙදිණි. ඇමති විමල් වීරවංශ අප්‍රේල් 15 පැවැත්වූ වීඩියෝ කතාවකදී කියා තිබුනේ ජුනි 02 ට පෙර මහමැතිවරණය පැවැත්වීමේ සුබවාදී බලාපොරොත්තුවෙන් රජය කටයුතු කරන බවයි. යම් හෙයකින් මැයි මාසයේ හමුවන කොරෝනා ආසාදිතයින් ගණන ඉහළගොස් අන්තරාය තත්වයක් ඇතිවුවහොත් පමණක් තත්වය වෙනස් විය හැකි බවයි.


එදිනම ජනපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනේ සියලු පළාත් වෛද්‍ය අධ්‍යක්ෂවරු ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බලධාරීන් කැඳවා නැවත වැඩ ඇරඹීට හැකි වාතාවරණයට ගැන ඒ ඒ අයගේ පළාත්වල වත්මන් තත්ත්වය ඇසුරෙන් සාකච්ඡාවක්ද පැවැත්වූ අතර ජනපති මාධ්‍ය අංශය ඒ සම්බන්ධයෙන් නිවේදන 2 ක් නිකුත් කර තිබුණි. දෙවන නිවේදනයෙන් කියා සිටියේ රටේ වැඩකටයුතු නැවත ඉක්මණින් අරඹන බවයි.

මේ අතර ඊයේ කොවිඩ් -19 වැළැක්වීමේ ජනාධිපති කාර්යය සාධක බලකායේ සාමාජිකයෙකු සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික‍්‍රම ලබන 20 සඳුදා සිට රජයේ වැඩ නැවත අරඹන බව දන්වා සිටියේය.
රාජ්‍ය යාන්ත‍්‍රණය ඉදිරියට පවත්වාගෙන යාමේ අරමුණින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව සියලූ අමාත්‍යංශවල සහ රාජ්‍ය ආයතනවල රාජකාරී ආරම්භ කිරීම සඳහා වන මූලික කටයුතු අද (17) සිට ආරම්භ කිරීමට රජය තීරණය කර ඇති බව දන්වා සිටියේය.
කෙසේ නමුත් අද 17 සිකුරාදා සිදුවන්නේ කුමක්දැයි විස්තර කර තිබුනේ නැත.

නැවත වැඩ ඇරඹීම ගැන අදහස් පළ කරමින් ඔහු පෙන්වාදී ඇත්තේ දිනකට කැඳවන සේවකයින් කවුරුන්දැයි තීරණය කිරීමේ බලය ආයතන ප්‍රධානියාට පවරා ඇති බවයි.
රජයේ සේවකයන්ගෙන් 20% ක ප්‍රමාණයක් පමණක් සේවයට කැදවීමට යෝජනාවී ඇත.
එලැඹෙන සඳුදා (20 වැනිදා) දිනයේ සිට අවදානම් කලාප හැර අනෙක් ප්‍රදේශවල දිවා කාලයේදී රට පුරා ඇඳිරි නීතිය ඉවත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති අතර දිනපතා පෙ.ව. 6.00 ට ඉවත් කෙරෙන ඇඳිරි නීතිය යළි  රාත්‍රී 8.00 ට පැනවීමට අදහස් කර ඇත.

පෞද්ගලික අංශයට රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නිර්දේශ වී ඇත්තේ පෙ.ව. 10.00 ටය.රජයේ සහ පෞද්ගලික අංශයේ කාර්යාල කටයුතු ආරම්භ වුවත් සියලුම සේවකයන්ට රාත්‍රි 8.00 වන විට නිවෙස්වලට යෑමට හැකිවන පරිදි සේවා මුර සකස් කර ගත යුතුවනු ඇතැයිද අදහස් පළවී ඇත.

 අවදානම් කලාප ලෙස හඳුනාගෙන දැනට වසා දමා ඇති ප්‍රදේශ තවදුරටත් එලෙසින්ම පැවතීම තුළ රජයේ කාර්යාල වැඩිපුර ඇති කොළඹ බත්තරමුල්ල ප්‍රදේශවල කටයුතු ඇරඹීම කෙසේ සිදුවන්නේ දැයි තවම පැහැදිලි කර නැත. මහජනතාවට විවෘත වෙන සේවාවන් පෙර ආකාරයටම ක්‍රියාත්මක කළ හැකිද ඒවා පසුව ඇරඹෙන්නේද යන්නද පැහැදිලි කර නැත.
කෙසේවෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ පනවා ඇති සීමා ලිහිල් කිරීමට සහ දෛනික කටයුතු යළි ආරම්භ කිරීමට නම් කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමේ පරීක්ෂණ තවත් වේගවත් කළ යුතු බවයි.

මේ අතර ඊයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශාලා එහි නිෂ්පාදන කටයුතු යළි ක්‍රමානුකූලව ආරම්භ කිරීමට තීරණය කර තිබෙන බවට නිවේදනයක් නිකුත් විය. සෞඛ්‍ය අමාත්‍යාංශ මඟින් නිකුත් කර ඇති ආරක්ෂිත ක්‍රමවේද හා මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් මෙන්ම මඟපෙන්වීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මඟින් සිදුකෙරෙන බව එහි දක්වා තිබුණි.

මාසයක කාලයක් මෙහෙයුම කටයුතු නවතා දමා තිබූ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ අභ්‍යන්තර කටයුතු අද(17) දිනයේ සිට ආරම්භ කරන බවද තැපැල් දෙපාර්තමේන්තුව පවසා තිබුණි.
නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් ශ්‍රී ලංකා රේගුව සමඟ එක්ව තැපැල් භාණ්ඩ නිෂ්කාශනය කිරීමේ කටයුතු සිදුකෙරෙන නමුත් අද දිනයේදී තැපැල් කාර්යාල විවෘත කිරීමක් සිදුනොවන බව ද දන්වා තිබුණි.
රජයේ කාර්යාල නැවත ආරම්භ කරන ආකරය ගැන සාකච්ඡා තුළින් මතුවන අදහස් පමණක් තවම මාධ්‍ය ඔස්සේ එළිදක්වා ඇති අතර නිල වශයෙන් රජයේ නිවේදනයක් මේ දක්වා නිකුත්ව නැත.