කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී 2020 අප්‍රේල් මස 09 වන දින පැවැත්වූ මාධ්‍ය හමුවේදී  ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි ,  ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දැක්වූ අදහස්
පහත දක්වා ඇත

ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය

විශේෂයෙන්ම, කොවිඩ - 19 රෝගය පැතීරයාම වැළැක්වීමට රජය විසින් ගනු ලැබූ පියවරයන්ට අමතරව පවුල් විසි ලක්ෂයක් සඳහා රුපියල් මිලියන විසිදාහක් සමෘද්ධි ව්‍යාපාරයෙන් ණයක් ලෙස එක් පුද්ගලයෙකුට රුපියල් 10,000 බැගින් ලබාදීමට තීරණය කරන ලදී. ඒ අනුව, සමෘද්ධි බැංකු මගින් මෙම පවුල් ලක්ෂ විස්සට රුපියල් 5,000 බැගින් ප්‍රථම වටය සඳහා පොලී රහිතව ලබාදෙන ලදී. අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත ගරු බැසිල් රාජපක්‍ෂ අමාත්‍ය තුමාගේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කර ඇති කාර්ය සාධක බලකායේ තීරණයකට අනුව සමෘද්ධි ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයින් සඳහා දෙනු ලැබූ මෙම ණය මුදල ආධාර මුදලක් ලෙස මින් ඉදිරියට සලකණු ලබයි.
අද වනවිට කොවිච් -19 වෛරසය වැළදුණු රෝගින් 189 දෙනෙකු වාර්තා වී ඇති අතර අද දිනයේ මේ වනවිට එක් රෝගියක් පමණක් වාර්තා වී ඇත. මෙම රෝගීන් 189 දෙනාගෙන් 80 දෙනෙකුම විදෙස් රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් වේ. ඒ අය සමඟ සමීපව ඇසුරු කළ පුද්ගලයින් 100 දෙනෙකු හට මේ වනවිට මෙම වෛරසය ආසාදනය වී ඇත.
එවගේම, රට පුර ඇඳිරි නීතිය යොදවා විදේශ රටවල සිට පැමිණි රෝගය ආසාදනය වූ පුද්ගලයින් සමීපව ඇසුරු කළ පුද්ගලයින් විශාල ප්‍රමාණයක් නිරෝධානය කිරීමට කටයුතු කරනු ලබයි. පසුගිය 19 වෙනිදා සිට ගුවන් තොටුපල වසා දමා 20 වෙනිදා සිට දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවීමත් සමඟ පුද්ගලයින්ගේ සංචරණය සම්පූර්ණයෙන්ම සීමා විය. මාර්තු මස 19 දින සිට අප්‍රේල් මස 19 වෙනිදා දක්වා දින 30 ක කාලය ඇතුලත මේ රටේ සංචරණය සීමා වී තිබෙන නිසා කොවිච් රෝග ලක්‍ෂණ හඳුනාගැනීමට දින 30 ක කාලය ප්‍රමාණවත් වේ. එසේම යම් පුද්ගලයෙකු කොවිඩ් රෝග ලක්‍ෂණ තිබි එය පහව යාමටත් දින 30 ක කාලය ප්‍රමාණවත් බව වෛද්‍ය නිර්දේශය වේ.
ඒ නිසා, අප්‍රේල් මස 19 වෙනිදා දක්වා රජය විසින් පනවා ඇති නීතිරීති වලට අවනත වී සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් පිළිබඳව සැලකිලිමත් වී මෙම නිරෝධායන වැඩපිළිවෙලට සහයෝගය ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.


 ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා -

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන අතරින් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 37 දෙනෙකු දින 28 ක පමණ නිරෝධාන ක්‍රියාවලියෙන් අනතුරුව අද (09) දින තම නිවෙස් වෙත පිටව ගියා. මන්ද, ඔවුන් සමඟ ගොඩනැගිල්ලක සිටි පුද්ගලයෙකුට කොවිච් -19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඔවුන් දෙවතාවක් PCR TEST සිදුකර කොමිඩ්-19 වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු කරගැනීමෙන් පසු අද දින මෙලෙස තම නිවෙස් බලා පිටත් කර යවන ලදී.
අද වනවිට ත්‍රිවිධ හමුදාවන් යටතේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධානය වී පුද්ගලයින් 3459 දෙනෙකු නිවස් බලා පිටත්ව ගොස් ඇත.
 ඒ අනුව, දැනට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 1311 දෙනෙකු තවදුරටත් නිරෝධායන ක්‍රියාවලියේ යොදවමින් සිටියි.
ඊයේ (08) දිනයේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් දෙදෙනෙකු රත්නපුර නගරයෙන් හමුවීමත් සමඟ ඔවුන් සමීපව ඇසුරු කළ එම ප්‍රදේශයේ පවුල් 23 ක පුද්ගලයින් 67 දෙනෙකු ඊයේ රාත්‍රියේදීම දියතලාව, කහගොල්ල නිරෝධාන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලදී.

එසේම, ඉන්දියාවේ සිට පසුගියදා මෙරටට පැමිණි මාතර, හක්මන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන්
දෙදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමත් සමඟ ඔවුන්ගේ ඥාතීන් 16 දෙනෙකු ඊයේ (08) දින රාත්‍රි පුනානි නිරෝධාන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලදී.
අටළුවගම සහ අකුරණ ග්‍රාමය තවදුරටත් හුදකලා නගරයන් බවට පත්කර තිබෙන අතර මීට දින දෙකකට පෙර පුත්තලම ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති
බවට තහවුරවීමත් සමඟම එම පුද්ගලයා පසුගිය 18 වන දින තාරපුරම් ගම්මානයේ අවමංගල උත්සවයකට සහභාගී වී එම ගම්මානයේ පුද්ගලයින් විශාල ප්‍රමාණයක් ඇසුරු කර නිවාස
කිහිපයකටත් ගොස් ඇති බැව් පරික්‍ෂණවලින් අනාවරණය විය. එම ගම්මානයේ පවුල් 900 ක් අධික සංඛ්‍යාවක සාමාජිකයින් 4600 කට අධික ප්‍රමාණයක් ජිවත් වන අතර ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට අපහසු බැවින් මන්නාරම ප්‍රදේශයේ තාරපුරම් ග්‍රාමය අද (09) දින හුදකලා ගම්මානයක් බවට පත් කරන ලදී.

මේ දිනවල, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එක්ව මහල් නිවාස සංකීර්ණයේ ජීවත්වන ජනතාවගේ මානසික මට්ටම උසස් තත්වයක පවත්වාගෙන යාමේ අරමුණින් සංගීත ප්‍රසංග පවත්වනු
ලබයි. ඒ අනුව, ඊයේ (08) දිනයේ යුද්ධ හමුදාව විසින් මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිටත්, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසිය විසින් තවත් ස්ථාන තුනකත් මෙවැනි සංගීත ප්‍රසංග පවත්වන ලදී. එසේම, අද (09) දින සවස 06.30 ට Fair Mount Rajagiriya යුද්ධ හමුදා සංගීත කණ්ඩායම සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතව ඇති අතර නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසිය විසින් තවත් ස්ථාන තුනකත් මෙවැනි සංගීත ප්‍රසංග පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.


විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා

අද දින බේරුවල ප්‍රදේශයෙන් වාර්තාවූ කොවිඩ් වෛරසය ආසාදනය වූ කාන්තාව සමඟ මේ වනවිට රෝගීන්ගේ සංඛ්‍යාව 190 බවට පත්ව ඇත.
ඒ වගේම, කොවිඩ්-19 වෛරසය හඳුනාගැනීම සඳහා සිදුකරනු ලබන PCR පරික්‍ෂණය ආයතන කිහිපයකට යොමු කළ අතර එම පරික්‍ෂණ අපේක්ෂා රෝහල, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල රෝහල, රත්නපුර රෝහල සහ අයි.ඩි.එච්. රෝහල වෙතින් සිදුකරනු ලබයි. තවද, උසස් අධ්‍යාපනය අමාත්‍යාංශය යටතේ ඇති විශ්වවිද්‍යාල වලින් එම PCR පරික්‍ෂණ සිදුකිරීම සඳහා අවශ්‍ය උපකරණ ලබාදෙන බවට දන්වන ලදී.
මෙවර ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිවස තුළ නිවසියන් සමඟ පමණක් සමරන ලෙසට සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින අතර මෙවැනි උත්සව නවතා දැමීමක් චීන රජය විසින් ද සිදුකර ඇත.



නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා

නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වන අතර ඇඳිරි නීතිය ආරම්භ කල මාර්තු මස 19 වන දින සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 19,000 ක් පමණ අත්අඩංගුවට ගෙන ඇත. අද උදෑසනින් අවසන් වූ පසුගිය පැය 24 ක කාලය තුළ පුද්ගලයින් 1700 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත. මෙම දත්තවලින් පෙනී යන්නේ තවදුරටත් ඇඳිරි නීතියට අවනත නොවන බවයි. ඒ වගේම, නැවත සඳහන් කර සිටිනුයේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ලබාදී ඇති ඇඳිරි නීති බලපත්‍ර අවභාවිතා නොකරන ලෙසයි.

මෙවර ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිවස තුළ නිවසියන් සමග පමණක් සමරන ලෙසට සියලු ජනතාවගෙන් ආයාචනා කර සිටින්නමු. එසේම, වැඩිපුර රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති හෙයින් සිංහල අලුත් අවුරුදු කාලය තුළ බස්නාහිර පළාතෙන් පිටත යෑමත් බස්නාහිර පළාත තුලට පැමිණිමත් මෙම වෛරසය පැතිරයාමට සෘජු හේතුවක් වන බැව් අවධාරණය කර සිටිමි.

අත්‍යවශය සේවා ලෙස නම් කරන ලද සේවාවන් සඳහා අදාළ අයවළුන්ට සුපුරුදු පරිදි තම හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍ර ලෙස භාවිතා කළ හැකි අතර එම හැඳුනුම්පතත් සමඟ අදාළ ආයතනයේ ප්‍රධානීයාගෙන් හෝ නියෝජිතයෙකුගේ නිල මුද්‍රාව සහිත අත්සනින් යුතු අවසර පතක් ද ඔබ සන්තකයේ තබාගත යුතුව ඇත.
පැහැදිලිවම යම් යම් කණ්ඩායම් ඇඳිරි නීතියට ගරු නොකරන බැව් නිරික්ෂණය වී ඇති අතර විශේෂයෙන්ම අනුරාධපුර, ගම්පහ, පොලොන්නරුව යන දිස්ත්‍රික්කයන්හි ඇඳිරි නීතිය කඩ කරන්නන් ප්‍රමාණය ඉහළ අගය ඇති බව වාර්තා වී ඇත. එවැනි පුද්ගලයින්ට එරෙහිව 1897 නිරෝධායන හා රෝග වැළැක්වීමේ පනතට අනුව ඉදිරියේදී නීතිමය පියවර තදින්ම ක්‍රියාත්මක කිරීමට පොලිසිය විසින් කටයුතු කරනු ලබයි. එමෙන්ම, අර්තව්‍ය සේවා හැර කිසියම් පුද්ගලයෙක් දිස්ත්‍රික් මායිම් පසු කර යෑමට උත්සහ කරන්නේ නම් එම පුද්ගලයා අත්අඩංගුවටන්ගෙන නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර නිරෝධානය කරනු ලබයි.