ව්‍යාපාරිකයන් විසින් කෘත්‍රිම ලෙස එළවළු මිල ඉහළ දැමීම පාලනය කිරීම සඳහා ජාතික මාධ්‍ය ඔස්සේ එළවළු මිල දර්ශකයක් දිනපතා ප්‍රචාරය කරවීමට මේ මස සිට කටයුතු කරන බවට සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.



රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (05දා) පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී හෙතෙම ඉල්ලා සිටියේ මිල අඩුවෙන් එළවළු අලෙවි කරන වෙළෙඳුන්ට යම් තර්ජන ඇන්නම් ඒ පිළිබඳ රජය දැනුවත් කරන ලෙසයි.

සාධාරණ වෙළෙඳුන්ට අවශ්‍ය පූර්ණ ආරක්ෂාව රජය විසින් ලබාදෙන බවට එහිදී අවධාරණය කළ සම කැබිනට් ප්‍රකාශකවරයා මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින්,

"යාපනය අර්ධද්වීපයෙන් එළවළු තොග ගෙනැවිත් දිවයිනේ ජනාකීර්ණ ප්‍රදේශවල පිහිටි ආර්ථික මධ්‍යස්ථාන හරහා අලෙවි කිරීමට අපි ඉදිරියේදී කටයුතු කරනවා. සමූපකාර සංගම් ආදී ආයතන හරහා ඉල්ලීම් කරනවා නම් අපි සලකා බලන්න ලෑස්තියි ජංගම රථ සඳහා එළවළු වෙළෙඳාම් ඇති කරවන්න. එහිදී එම රථවලට පූර්ණ ආරක්ෂාවද අපි ලබා දෙනවා. මිල අඩුවට විකිණීම ගැන වෙළෙඳුන්ට තර්ජන තියෙනවා නම් ඒ පිළිබඳ රජය දැනුවත් කරන්න. සාධාරණ වෙළෙඳුන්ට අවශ්‍ය පූර්ණ ආරක්ෂාව අපි ලබාදෙනවා” යැයිද කීය.

- නිදර්ශනී වික්‍රමසිංහ -