තරඟ පරාජය වනවාට බිය වී ජයග්‍රහණ බලාපොරොත්තු විය නොහැකි බව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පැවසීය. ඔහු මේ බව පවසා සිටියේ ශ්‍රී ලංකාව හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර
පෙරේදා (04දා) පැවති පළමු පන්දුවාර විස්සයි20 තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.
මෙහිදී කුසල් තවදුරටත් පවසා සිටියේ, හැමදාම එකම සැලසුම් ක්‍රියාත්මක කළ නොහැකි බවත්, වෙනසක් කළ යුතු බවත්ය. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති මෙම තරඟයෙන් ලකුණු 25ක පරාජයක් භාරගැනීමට ශ්‍රී ලංකාවට සිදුවිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කුසල්,

“පන්දු රැකීමේදී අඩුපාඩු ටිකක් වුණා, ඒක ඇත්ත. නමුත් පන්දුවට පහරදීමේදී අපට කියන්න බැහැ සෑම පිතිකරුවෙක්ම සාර්ථක වෙනවා කියලා. මොකද මම ඊළඟ තරඟයේදී අසාර්ථක වෙන්න පුළුන්. කණ්ඩායමක පිතිකරුවෝ හයක්, හතක් ක්‍රීඩා කරනවා. නමුත් එදා දවසට ලකුණු අතරට එන්නේ පිතිකරුවෝ දෙදෙනෙක් නැත්නම් තුන්දෙනෙක්.

මෙම තරඟයේ අපේ මුල් පිතිකරුවන් සියලු දෙනාම එකම ආකාරයකට දැවී ගියේ. අපි ඒකට විකල්පයක් හොයාගන්න ඕන. තෝමස් (කොදෙව්වන්ගේ සාර්ථකම පන්දු යවන්නා) කියන්නේ වේගවත්, ඒ වගේම බවුන්සර් පන්දු යවන්නෙක්. එයා කඩුලු 5/28) ගත්තෙත් ඒ විදියට. එම නිසා එම අඩුපාඩුව හදාගෙන පිතිකරුවන් ක්‍රීඩා කරන්න ඕන. එයා කඩුලු පහක් ගත්තා කියලා නැහැ, මොකද ඊළඟ තරඟයේදී අපි එයාට අභියෝග කරන්න ඕන. විස්සයි20 කියන්නේ පිතිකරුවන්ගේ තරඟයක්" යැයි පැවසීය.

මෙහිදී කොදෙව් කණ්ඩායම ලකුණු 196/4ක් රැස් කිරීමට සමත් වූ අතර, ඔවුන් එතරම් ලකුණු සංඛ්‍යාවක් රැස් කළේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දුර්වලතා නිසාද, නැතිනම් පන්දු රකින්නන් ස්ථානගත කිරීමේ දුර්වලතා නිසාදැයි මෙහිදී කුසල්ගෙන් විමසීය.

"පන්දු යවන්නන්ගේ දුර්වලතා නිසා කියන්න බැහැ. මොකද විස්සයි20 තරඟයක ලකුණු 197ක් කියන්නේ හඹාගෙන යන්න පුළුවන් ලකුණු සංඛ්‍යාවක්. මෙහිදී අපේ පන්දු යවන්නෝ ඔවුන්ගේ දායකත්වය 100%ක් දුන්නේ නැහැ කියන්න බැහැ. සාධාරණ ලකුණු සංඛ්‍යාවකට සීමා කරලා දුන්නා. කොදෙව්වෝ ලකුණු දෙසීය ඉක්මවූයේ නැහැනේ. අපට තව එක හොඳ ලකුණු සබඳතාවක් ආවා නම් තරඟය දිනන්න තිබුණා. කොහොමත් කොදෙව්වෝ ලෙන්ත් එක මිස් වුනොත් හයට ගහනවා, ඔවුන් දේහදාරී ක්‍රීඩකයෝ නිසා. එහෙම වුණාම තමයි ගොඩක් වෙලාවට ලකුණු යන්නේ” යනුවෙන් පැවසීය.

දෙවැනි තරඟයට කණ්ඩායමේ තිබෙන සුදානම පිළිබඳ කුසල් දැක්වූයේ මෙවන් අදහසක්,

"තරඟ පරදින්න බය වෙලා දිනන්න බැහැ. නමුත් හැමදාම එකම දේ කරලත් බැහැ. ඒ නිසා අපි වෙනසක් කරන්න ඕන. තරඟයක් දිනන්න අභියෝග කරන්න ඕන. ලකුණු හඹායන්න ඕන, විශේෂයෙන් විස්සයි20 තරඟවල.”

දෙවැනි විස්සයි20 තරඟය ගැන ප්‍රේක්‍ෂකයන්ට කුමක්ද කියන්න තියෙන්නේ යනුවෙන් මෙහිදී කුසල්ගෙන් විමසා සිටියේය.

"තරඟ කියන්නේ දිනනවා, පරදිනවා. ඒක තමයි ක්‍රීඩාවේ ස්වභාවය. එක්දින තරඟවල අපි හොදින් කළා. විස්සයි20 තරඟ ඉතිහාසය අපේ කොහොමත් එතරම් හොඳ නැහැ. තරඟ පැරදිලා තියෙන්නේ. එහෙම වෙලත් ප්‍රේක්‍ෂකයෝ තරඟ බලන්න එන එක ගැන සතුටුයි. ක්‍රීඩකයෙක් හැටියට අපි බලන්නෙත් තරඟ දිනන්න. කවුරුත් කැමති නැහැ තරඟ පරදින්න.

විස්සයි20 කණ්ඩායමේ ආත්ම විශ්වාසයත් ටිකක් අඩුයි. ඒක වැඩි කරගන්න ඕනත් ක්‍රීඩකයන්ම තමයි. එම නිසා ප්‍රේක්‍ෂකයන්ගෙන් ඉල්ලන්නේ ක්‍රීඩකයන්ගේ ආත්ම විශ්වාසය වැඩි කරන්න, දිරිමත් කරන්න කියලා."

මෙම තරඟයට පෙර දිනයේ ඔහුගේ විවාහ උත්සවය පැවති අතර, ඔහු එයට සහභාගි වී පසු දිනයේදීම මෙම තරඟය ක්‍රීඩා කළේය. ඔහු හා බිරිඳ ගැන කළ විමසීම් සඳහා සිනාමුසුවෙන් ඔහු මෙසේ පැවසීය.

"වෙඩින් එක තිබුණේ ඊයේ (03දා). අද (පෙරේදා) තමයි නුවරට ආවේ. පෞද්ගලිකව ලකුණු අතරට එන්න ලැබුණ එක ගැන සතුටුයි. නමුත් තරඟය දිනුවානම් ගොඩක් සතුටුයි. කඩුලු 05ක් (5/56, පන්දුවාර 5.6) වැටිලා තිබුණ වෙලාවක ලකුණු 171ක් රැස් කළා කියන්නේ එහි ධනාත්මක පැත්තකුත් තිබෙනවා. බිරිඳ නුවර ඉන්නවා. ඇයත් තරඟය නැරඹුවා. ඇය වෛද්‍යවරියක්. අපි දෙදෙනා හමුවෙලා වසර දොළහක් පමණ වෙනවා. ඇය, මම ගැන හොද අවබෝධයකින් ඉන්නවා. ඇය හා විවාහ වීමට ලැබීම ගැන මම ගොඩක් සතුටු
වෙනවා. මගේ අර්ධ ශතකය ගැන ඇය සතුටු වුණා කියලා මම හිතනවා. නමුත් අපි තරඟය දිනුවානම්, ඇයට ඊටත් වඩා සතුටු වෙන්න තිබුණා" යැයි කුසල් පැවසීය.

- සංජීව ධර්මසේන -