වව්නියාව නගරය තුළ කොරෝනා රෝගී බවට සැක චීන ජාතිකයන් තිදෙනකු සැරිසරන බවට පොලිසියට ඊයේ (16වැනිදා) පස්වරුවේ දැනගන්නට ලැබී ඇත. ඒ අනුව රෝහල් කාර්ය මණ්ඩලයත් සමග ගිලන්
රථයකින් නගරයට ගොස් චීන ජාතිකයන් තිදෙනා වව්නියාව රෝහල වෙත රැගෙන ඒමට කටයුතු කර ඇත. අනතුරුව තිදෙනා පූර්ණ වෛද්‍ය පරීක්ෂාවට ලක් කෙරුණු අතර එහි දී තහවුරු වී ඇත්තේ ඔවුනට කිසිදු කොරෝනා රෝග ලක්ෂණයක් නොමැති බවයි.
කොරෝනා රෝග පරීක්ෂාවට ලක් කරන ලද චීන ජාතිකයන් තිදෙනකු මුදා හැරීමට කටයුතු කළ බව වව්නි යාව පොලිසිය පැවසීය.
වැඩි දුරටත් සොයා බැලීමේ දී හෙළි වී ඇත්තේ එක් තරුණියක හා තරුණයන් දෙදෙනකු වූ මෙම තිදෙනා මාස දෙකකට පෙර සංචාරය ආරම්භ කර ඇති බවය. ඔවුන් මුලින්ම තායිලන්තයට ගොස් පෙබරවාරි 25 දින ශ්‍රී ලංකාවට පැමිණ ඇත. දින කීපයකට පෙර යාපනයට ගොස් ඇති තිදෙනා යාපනයේ සිට බස් රථයකින් ත්‍රිකුණාමලය බලා ගමන් කර ඇත. බස් රථය දිවා ආහාරය සඳහා නතර කිරීමෙන් පසුව නගරයේ සැරිසරන විට ප්‍රදේශවාසීහු සිද්ධිය පොලිසියට දැනුම් දී තිබේ.

පොලිස් නිලධාරින් විසින් චීන ජාතිකයන් තිදෙනාට බාධාවකින් තොරව සිය ගමන යෑමට කටයුතු සලසන ලදී.

සනත් ප්‍රියන්ත - වව්නියාව