කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකකරමින් හලාවත මහා රෝහලට ඇතුළත් කර අනතුරුව කුරුණෑගල මහ රෝහලට මාරු කර යැවූ තරුණයාට සහ තරුණියට එම වෛරසය ආසාදනය වී නොමැති බව
වෛද්‍යවරුන් තහවුරු කර ඇතැයි හලාවත මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල මල්ලවාරච්චි පැවැසීය.


පසුගිය 12 වැනිදා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති මෙම දෙදෙනා ආරච්චිකට්ටුව පදිංචිකරුවන්ය. වයස අවුරුදු 27 වන තරුණයා ඉතාලියේ සිට මෙරටට පැමිණ ඇති අතර, අවුරුදු 25 ක් වන තරුණිය ඩුබායි සිට මෙරටට පැමිණ ඇත. ඔවුන් දෙදෙනා රෝගී තත්ත්වයෙන් හලාවත මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව විමර්ශන කටයුතු සඳහා කුරුණෑගල ශීක්ෂණ රෝහලට මාරු කර යවන ලදී. එම රෝහලේදී සිදු කරන ලද විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මෙම දෙදෙනාට කොරෝනා වෛරසය ආසාධනය වී නොමැති බවය. ඒ අනුව ඔවුන් ඉදිරි දින කීපය තුළ තමන්ගේ නිවෙස්වලට පැමිණීමට නියමිත බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර, ඉතාලියේ සිට මෙරටට පැමිණ ඇති 65 දෙනෙකු මහවැව සහ 120 දෙනෙකු නාත්තන්ඩියේ සිටින බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අනාවරණය කරගෙන ඇත. මෙම පිරිස් රජය විසින් ක්‍රියාත්මක කර ඇති නීරෝධායන වැඩසටහන්වලට සහභාගි වී නොමැති බවටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් තහවුරු කරගෙන ඇත.ඒ අනුව ඔවුන් පදිංචි නිවෙස්වලදීම එම අයව නීරෝධායනය කිරීමේ වැඩ සටහනක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මේ වන විට ආරම්භ කර ඇත.

පවතින තත්ත්වය සමග වෙන්නප්පුව,මාරවිල සහ නාත්තන්ඩිය යන නගර පාළුවට ගොස් ඇති බවක්ද දක්නට ඇත. ඊට හේතුවී ඇත්තේ මහජනතාව වෙනදා මෙන් තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් නගරයට නොපැමිණීම බව ව්‍යාපාරිකයෝ සඳහන් කරති. කොරෝනා වෛරසය ආසාධිත වූ බවට සැකකරමින් ප්‍රතිකාර සඳහා රෝහල් ගත වන අය සඳහා වෙනමම ප්‍රතිකාර ඒකකයක් 18 වැනිදා හලාවත නගරය තුළ විවෘත කිරීමට කටයුතු කර ඇති බව හලාවත මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල මල්ලවාරච්චි පැවැසීය. හලාවත මහ රෝහලට ආසන්නයෙන් පිහිටි මෙම ගොඩනැගිල්ල තුළ එම වාට්ටුව ආරම්භ කිරීමෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරුන්ට වැඩි පහසුවක් අත්වන බවද වෛද්‍ය කපිල මල්ලවාරච්චි පැවැසීය.

ජූඩ් සමන්ත - පුත්තලම