තමා පැද වූ ත්‍රීරෝද රථයට යතුරුපැදිකරුවෙකු හැපී බරපතළ තුවාල ලබා තිබියදී නොනවත්වාම ත්‍රිරෝද රථය ධාවනය කර සිටි අයෙකු දිර්ඝ විමර්ශනයකින් පසුව දින හතළිහකට පසු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇති බව වැලිගම පොලිසිය පවසයි. සැකකරු 39 හැවිරිදි දෙදරු පියෙකු වන අතර ඔහුට
ස්ථිර පදිංචියක් නොමැති බවත් කලින් කලට පදිංචිය වෙනස් කිරීම කරගෙන ගොස් ඇති බවත් අනාවරණය වී තිබේ. අනතුර සිදුවී තිබුණේ ඉකුත් ජනවාරි මස 22 දින මිරිස්ස තැපැල් කාර්යාලය අසල මාතර ගාල්ල ප්‍රධාන මාර්ගයේදීය.


අනතුරින් බරපතළ තුවාල ලබා තිබුණේ මිරිස්ස ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි අයෙකි. අනතුර සිදුකොට පලාගිය ත්‍රිරෝද රථය පිළිබඳව ඇසින් දුටු සාක්කි නොමැති වූයෙන් මාර්ගයේ ඇති සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරීන්ට සිදුවිය. එමගින් පලායමින් සිටි ත්‍රිරෝද රථය හඳුනාගෙන එහි අංකය ලබාගැනීමට හැකිවී තිබේ. ත්‍රිරෝද රථයේ අංකය පිළිබඳව කරන ලද විමර්ශනයේදී එහි අයිතිකරු බද්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හෙළි වූයෙන් ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී එය වසර දහයකට පෙර කාන්තාවකට විකුණා ඇති බවත් එහෙත් මේ වනතෙක් ත්‍රිරෝද රථයේ අයිතිය පමණක් නොමැති බවත් හෙළිදරව් විය.

එහෙත් ඇයගේ ලිපිනය හෝ නම පිළිබඳව ඔහු දැනුවත්ව නොමැති වුවත් ඇයගේ ජංගම දුරකතන අංකය ඔහු ළඟ තිබී ඇත. එම දුරකතන අංකයට පොලිස් නිලධාරීන් කතා කළ විට පිරිමි අයෙකු එයට ප්‍රතිචාර දැක්වූයෙන් ඔහු පිළිබඳව තොරතුරු දැන ගැනීමට හැකිවී ඇත. කාන්තාව එම අයගේ බිරිඳ වූ බවත් අනතුර සිදුකොට පලාගොස් සිටියේ ඔහු බවත් අනාවරණය වී තිබේ.


සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩී.එම්. අබේසේකර මහතාගේ උපදෙස් පරිදි හා රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත ගුණවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂකවරුන් වන පාලිත පතිරණ, එල්.එච්. ජයන්ත නිලධාරින් විසිනි. බලපත්‍රයක් නොමැතිව ත්‍රිරෝද රථයක් පැදවීම, අනතුරක් වාර්තා නොකොට පලායාම, තුවාලකරු රෝහල වෙත රැගෙන නොයාම, තුවාල සිදු කිරීම, අපරීක්ෂාකාරී රිය පැදවීම, අනතුරක් වළක්වා නොගැනීම චෝදනා යටතේ සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට රථවාහන අංශයේ අධිකරණ නිලධාරි පොලිස් සැරයන් එම්.එම්. රූපානන්ද මහතා කටයුතු කරගෙන යයි.

- සුනිල් ධර්මබන්දු ද සිල්වා -