දුම්රියක් එනතුරු පෙරේදා (8) පස්වරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ හයවැනි වේදිකාව අයිනේ සිටි
කාන්තාවක ධාවනය වෙමින් තිබූ දුම්රියක හැපී දුම්රිය මාර්ගයට වැටී අනතුරකට පත්ව ඇත. තලෙයිමන්නාරම පදිංචි විශ්‍රාමික ගුරුවරියක වන ඇයගේ අත්බෑගයේ තිබී රුපියල් 39,08,320ක මුදලක් සහ රන්මාල 4ක් රත්රන් වළල්ලක් හා ඔරලෝසුවක හමුවූ බව ඇය හැපුණු දුම්රියේ ප්‍රධාන නියාමක එච්.පී. සෝමරත්න මහතා පැවසීය. එයට අමතරව ඇයගේ ජාතික හැඳුනුම්පත, බැංකු පොත්, විදේශ ගමන් බලපත්‍රයක් ද හමු වූ බවත් ඒ සියල්ල ආරක්ෂා සහිතව කොටුව දුම්රිය ස්ථානාධිපති (මෙහෙයුම්) බාරදුන් බවත් ඔහු කීය.

යාපනයේ සිට කොටුව බලා පැමිණි දුම්රිය මගීන් බැස යාමෙන් පසු පැයකින් පමණ දුම්රිය ධාවනාගාරයට පිටත්ව යාමේ දී හයවැනි වේදිකාව අයිනේ සිටි ඇය දුම්රියේ හැපී මාර්ගයට ඇද වැටුණු බවත් පසුව දුම්රිය වහා නතර කර 1990 ට කතාකර ගිලන් රථයක් ගෙන්වා ඇය කොළඹ ජාතික රෝහලට පිටත්කර යැවූ බවත් ප්‍රධාන නියාමක සෝමරත්න මහතා පැවසීය. දුම්රියට හැපුණු ඇයගේ දෙපා වෙන්වී තිබූ බවත් ගිලන් රථයට නැංවීමේ දී ඇයට සිහිය තිබූ බවත් ඔහු කීය.

-මහින්ද නිශ්ශංක-