සමඟි ජන බලවේගයේ සමාරම්භක උත්සවය අද (02) පෙරවරු 9.00 ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේදි පැවැත්වීමට නියමිතව තිබේ.
මේ වනවිට එජාපයේ බලය රනිල්ගෙන් සජිත්ට හුවමාරුව අර්බුදයක් බවට
පත්ව ඇති මොහොතක මෙම දේශපාලන ගමන ඇරඹීමට සජිත් තීරණය කර ඇති අතර සජිත්ගේ මෙම උත්සවයට රනිල් හෝ අකිල නොපැමිණීම විශේෂත්වයකි.
ලකුණ සම්බන්ධයෙන් මතුවූ අර්බුදය අවසන් නොවුනු පසුබිමක් තුළ මෙය පැවැත්වේ.

කෙසේවෙතත්, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය, ජාතික හෙළ උරුමය, දෙමළ ප‍්‍රගතිශිලී සන්ධානය සමඟ එළඹෙන මහ මැතිවරණයේදී පොදු සන්ධානයක් ලෙස තරග වැදීමට දැනටමත් පක්ෂ කිහිපයක් සමගි ජනබලවේගය සමග එක්වී ඇත.

සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ තමන් සමග එක්වන සියලූ පාර්ශ්ව සමග ගිවිසුම් ගතවීම අද (02) දිනයේ සිදුවන බවයි.

එළඹෙන මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය ලෙස තරග වැදීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉකුත් දා අනුමැතිය හිමිවිය.

එහි නායකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නම් කෙරුණු අතර මහ ලේකම් ධූරය පාර්ලිමේන්තු මන්ත්‍රී මද්දුමබණ්ඩාරට ලබාදීමට අනුමැතිය හිමිවුණා. එහෙත්, ඊයේ ඇතිවූ අර්බුදකාරී තත්ත්වයත් සමග අද පැවැත්වෙන සමගි ජනබලවේගය බිහිකිරීමේ උත්සවයේදී විපක්ෂ නායක සජිත් විශේෂ ප‍්‍රකාශයක් සිදුකරනු ඇති බවටද දේශපාලන ආරංචි පවසා තිබේ.

අලුත් පැතුමක් - අලුත් ගමනක් යන තේමාවෙන් සමගි ජනබලවේගය සන්ධානයේ සමාරම්භක උත්සවය අද (02) උදෑසන 09ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙද්දී එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්‍ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සිරිකොත පක්‍ෂ මූලස්ථානයට කැඳවා ඇති බව වාර්තා වේ.

එමෙන්ම අද පෙරවරු 10.30ට එනම් ජාතික සමගි ජන බලවේගය සන්ධානයේ ගිවිසුම් අත්සන් කරන උත්සවය පැවැත්වෙන කාලයේදී එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින්ද මාධ්‍ය හමුවක් කැඳවා තිබේ.

මේ අතර ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජනබලවේගය හෝ එක්සත් ජාතික පක්ෂය ලෙස අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.


සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් හත්දෙනා දුරකථනය ලකුණින් මහ මැතිවරණයට ඉදිරිපත්වීමට අවශ්‍ය බව ප්‍රකාශ කළ නමුත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරයක් ඊට විරෝධය පළ කර තිබේ.

හංසයා ලකුණින් ඉදිරිපත්වීම පිළිබඳව කෘත්‍යාධිකාරී මණ්ඩලය බහුතර එකඟතාවක් තිබූ නමුත් එහි මහ ලේකම් ධුරය ඇතුලු නීති ප්‍රශ්න කිහිපයක් පැනනැගීම නිසා එම ලකුණ අතහැර දැමීමට සිදුව ඇත.

මෙම තත්ත්වය මත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ සමාරම්භක උත්සවයට එක්සත් ජාතික පක්ෂ නායකයා ඇතුලු කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් පිරිසක් සහභාගි නොවනු ඇති බවද දේශපාලන ආරංචි මාර්ග පැවසී ය.

සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව ලියාපදිංචි කිරීමක් කර නොමැති අතර, ව්‍යවස්ථාව නීත්‍යානුකූලව ලියාපදිංචි කිරීමෙන් අනතුරුව එම සන්ධානයට සහභාගිවීම පිළිබඳව සළකා බැලිය හැකි බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම්දී තිබේ.

මේ අතර විපක්ෂ නායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම නිමාවූයේ එළඹෙන මැතිවරණයට තරග කරන සන්ධානයේ ලකුණ පිළිබඳ එකඟතාවකින් තොරව බවයි.