මාතලේ අඹන්ගඟ කෝරළය ප්‍රාදේශීය ලේකම්වරයා පැදවූ නිල රථය රත්තොට-මාතලේ මාර්ගයේ අඹගහතැන්න ප්‍රදේශයේදී පෙරේදා (29) රාත්‍රී 8.45ට පමණ පාරෙන් ඉවතට පැන සිදුවූ අනතුරින් නිවෙසක
ඉදිරිපස සිටි පුද්ගලයකුට බරපතළ තුවාල වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයා ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.


රත්තොට සිට මාතලේ දෙසට ප්‍රාදේශීය ලේකම්වරයා නිල රථය පදවා ඇති අතර කැබ් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ නිවෙසක පඩිපෙළක ගැටී මෙම අනතුර සිදුවී ඇති බවත් ඒ අසල සිටි පුද්ගලයකු තුවාල ලබා ඇති බවත් මූලික පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

මෙම අනතුරින් තුවාල ලැබූ අඹගස්තැන්නේ පදිංචි ව්‍යාපාරිකයකු වන පනස් හැවිරිදි ආර්.එම්. සරත් රත්නායක මහතා මාතලේ මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ එක් පාදයකට බරපතළ ලෙස තුවාල සිදුවී ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.

ප්‍රාදේශීය ලේකම්වරයා මාතලේ මහ රෝහලේ ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව ද රෝහල් ආරංචි මාර්ග පවසයි. අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය ලේකම්වරයා මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද (2) ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් රත්තොට පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

- මහේෂ් කීර්තිරත්න -