හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු සැකකරුවන් 09 දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නැයි කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය ඉකුත් සිකුරාදා වරෙන්තු නිකුත් කෙරුනද මේ දක්වා අත්අඩංගුවට ගන්නට හැකිව ඇත්තේ
එක් අයෙකු පමණි.
ඒ මුත්තුරාජා සුරේන්ද්‍රන් නමැති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකි.

මෙම නඩුවට අදාළව මින් ඉහත අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට පත්වී තිබුණ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට ගැනීමක් සිදුව තිබුනේ නැත.
කෙසේ වෙතත් එජාපයේ අර්බුදකාරී තත්වයන් ගැන මාධ්‍ය ඉදිරියේ පෙනී සිටිමින් කථාපවත්වමින්ද සිටි රවී කරුණානායක මෙම වරෙන්තුව නිකුත්වූ සැණින් අතුරුදන්ව ඇති අතර මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී තිබේ.
ඔහු කිසියම් ප්‍රභූවරයෙකුගේ නිවසක සැගවී ඇති බවටද කටකතා පැතිර තිබේ.
රවී කරුණානායක අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් 6 ක් යොදවා ඇති බවද වාර්තාවේ. ඔවුන් ඔහු නිතර ආගිය තැන් පරීක්ෂා කරන අතර ඊයේත් පේරේදාත් එවැනි ස්ථාන ගණනාවක් පරීක්ෂා කර ඇතත් හිස්අතින් පැමිණෙන්නට සිදුවිය.
රවි කරුණානායක වාසය කරන බත්තරමුල්ලේ රජමල්වත්ත පාරේ නිවස මුලින්ම සෝදිසියට ලක්වූ අතර එහි ඔහු සිටියේ නැත. නිවැසියන් පවසා ඇත්තේ ඔහු නොකියාම කොහේ හෝ ගොස් ඇති බවකි.ඉන්පසු දෙවන දිනටත් එම නිවසට ගියද ඔහු නිවසට පැමිණ තිබුනේ නැත.
දැනට වරෙන්තු ප්‍රකාරව අත්අඩංගුවේ පසුවන මුත්තුරාජා සුරේන්ද්‍රන් නමැති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයා ලබන 18 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියම කර තිබේ.
මේ අතර රවි කරුණානායක නීතීඥයෙකු මාර්ගයෙන් අද හෝ හෙට අධිකරණයට භාරවනු ඇති බවටද ආරංචියක් පවතී.