තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස ද දන්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන
වරෙන්තු බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා  විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් පත්කර තිබේ.නීතීඥ ගෞරී තවරාසා මගින් ගොනු කර ඇති මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා,  රහස් පොලිසියේ අධ්‍යක්ෂ වරයා,  වැඩබලන පොලිස්පති වරයා , කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක , ඇතුළු එම අධිකරණයේ   පිරිසක් නම් කරනු ලැබ ඇත.

තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම වරෙන්තුව නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් , එබැවින් තම රිට් පෙත්සම විභාගයට ගන්නා ලෙසත් , එම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු වරෙන්තුව ක්‍රියාත්මක වීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කාර හිටපු මන්ත්‍රී සහ එක්සත් ජාතික පක්ෂයේ උපනායක රවි කරුණානායක මහතා සිය පෙත්සමින් ඉල්ලා ඇත.

එබැවින් මෙම නඩු කෘතියට අදාළව පොලීසිය විසින් ගොනුකර තිබෙන බී වාර්තාව සහ ඒ මත පදනම්ව මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කළ වරෙන්තුව බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද රවි කරුණානායක මහතා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඊට අමතරව තමන්ව අත්අඩංගුට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගන්නයි නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත නිකුත් කර තිබෙන උපදෙස ද බලරහිත කරන ලෙසයි ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙයි.

ඊට අමතරව මෙම නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද අදාළ පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇතුළු 4 දෙනෙනකු ගොනුකළ පෙත්සම් හෙට (11දා) දිනයේදී විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.

ඒ අනුව ඔවුන්ව හෙට (11දා) තෙක් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයකද අභියාචනාධිකරණය නිකුත් කළේය.