පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම ඉදිරිපත් කළ ආකර්ෂණීය පොරොන්දු කෙරෙහි විශ්වාසය තබා හැට නව ලක්ෂයක් ජනතාව ඡන්දය ලබාදී බලයට පත්කළ නමුත් මේ
වන විට එම පොරොන්දු ඉටු කිරීමට නොහැකිව ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය අසරණව සිටින බවත්, මෙම පිරිස තුනෙන් දෙකක බලයක් ඉල්ලන්නේ පොරොන්දු ඉෂ්ට කිරීමට නොව ව්‍යවස්ථාව වෙනස් කර සදාකල් බලයේ සිටීමට බවත් කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර (එජාප) මහතා පැවසීය. ඒ මහතා එසේ පැවසුවේ පෙරේදා (08දා) පැවැති සමගි ජන බලවේගයේ මිනුවන්ගොඩ ආසන බලමණ්ඩල රැස්වීමේදීය.

ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර (එජාප) මහතා විසින් සමගි ජනබලවේගය බල මණ්ඩල රැස්වීම සංවිධානය කර තිබුණු අතර එහිදී තවදුරටත් අදහස් දැක්වූ කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර (එජාප) මහතා පැවසුවේ මේ රටේ නිදහස හා ආර්ථික සංවර්ධනය ඇති කිරීමට ඇප කැප වී ක්‍රියා කළ එ.ජා.ප.ය 2002 හා 2015 මැතිවරණ ජයග්‍රහණය කළත් ඒජයග්‍රහණය පවත්වාගෙන යාමට එ.ජා.ප නායකත්වය අසමත් වූ බවයි.  නමුත් මේ වනවිට සමගි ජනබලවේගය ඉදිරියට එමින් සිටින බවත්, ඒ අනුව එළඹෙන මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර ජයග්‍රහණය කරන බවත්ය.

මෙම අවස්ථාවේ සමඟි ජන බලවේගයේ මිනුවන්ගොඩ ආසන බල මණ්ඩල රැස්වීමේදී ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර (එජාප), හිටපු පළාත් සභා මන්ත්‍රී චමින්ද සිල්වා (එජාප), මිනුවන්ගොඩ නගර සභාවේ විපක්ෂ නායක ශ්‍රීමාල් මාරසිංහ, මිනුවන්ගොඩ  ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක අජිත් ඩෙස්මන් සිල්වා (එජාප) මන්ත්‍රීවරුද අදහස් දැක්වූහ.

- එල්. ඩබ්. ආරියරත්න -