සුගියදා කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගත් පළමු ශ්‍රී ලාංකිකයා එලෙස හදුනාගත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් නොවන ආයතනයකදී වීම සුවිශේෂ කාරණාවක් බවත්  ඉදිරි කොරෝනා ආසාදිතයින් හදුනාගැනීම සම්බන්ධ අවදානම් තත්වයක් පවතින බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදයේ සභාපති රවී කුමදේශ් මහතා කියයි.
කොරෝනා වෛරසය හදුනා ගැනීම සදහා දැනට භාවිතාවන ක්‍රමය වන්නේ "කොරෝනා PCR" පරීක්ෂාවයි. එම කාර්‍ය සදහා දැනට පහසුකම් සපයා ඇත්තේ
වෛද්‍ය පර්යේෂණායතනයෙහි රසායනාගාරයකට පමණි. එහිද දිනකට සිදු කල හැකි පරීක්ෂණ ප්‍රමාණය අසූවකට පමණ සීමා වන අතර, දිවයිනේ සියළු පුරවැසියන්ගේ රෝගී තත්වයන් හදුනා ගත යුතු වන්නේ එම රසායනාගාරය තුලදීය.
පැය 6ක පමණ උපරිම කාලයකදි

මෙම පරීක්ෂණයෙහි ප්‍රතිපල නිකුත් කල හැකි නමුත්, අධික නිදර්ශක ප්‍රමාණයක් එක රසායනාගාරයකට ගොඩ ගැසීම හේතුවෙන් එම කාලය දින ගණනාවක් දක්වා කල් ගතවිය හැකිය.
කොරෝනා PCR පරීක්ෂාව සිදු කිරීමේ හැකියාව, උපකරණ අදාල රසායනාගාර වෘත්තිකයින්ගේ සේවය සහිත වෙනත් රසායනාගාර 3ක් කරාපිටිය, මහනුවර, අනුරාධපුර ශික්ෂණ රෝහල් තුල පිහිටා ඇති නමුත් මෙකී එකදු රසායනාගාරක හෝ මේ වනතුරුත් එම පරීක්ෂණ කටයුතු ආරම්භ කර නැති අතර ඒ සදහා අවශ්‍ය වන්නේ අදාල PCR ප්‍රතික්‍රීයක කට්ටල සහ නිදර්ශක යොමු කිරීම පමණක් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදයේ සභාපති රවී කුමදේශ් මහතා කියයි.

වෛද්‍ය පර්යේෂණායතනය තුළ ඇතැම් නිළධාරීන්ගේ වුවමනාව මත, කිසියම් "කොරෝනා ඒකාධිකාරයක්" පවත්වා ගැනීම සදහා උත්සාහ කරන්නේද යන සැකය මතුවන බවද ඔහු දක්වයි. සියල්ල එසේ තිබියදී ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා රෝගියා සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් නොවන ආයතනයකදී හදුනා ගැනීම මගින්ම පමණක්, වෛද්‍ය පර්යේෂණායතනය මුලිකව පවතින ක්‍රමවේදය ප්‍රශ්න කරනු ලැබ ඇතැයි ඔහු පෙන්වා දෙයි

එසේම, දැනට මෙම පරීක්ෂාව විනාඩි 20ක් වැනි කෙටි කාලයකින් හදුනා ගැනීම සදහා ක්ෂණික පරීක්ෂණ කට්ටල දකුණු කොරියාවේ සකසා ඇති බවත් අවශ්‍යනම් දින කිහිපයකදී ඇනවුම් කර ලබා ගැනීමේ හැකියාව පවතින බවත් ඔහු පෙන්වා දෙයි


තවද, උපරිම දින තුනකදී රෝගය හදුනා ගත හැකිව තිබියදී, අවම වශයෙන් නිරෝධායනය සදහා ගතවන දින ගණන අවම කිරීම සදහා හෝ වෛද්‍ය රසායානාගාර විද්‍යාවේ නවතම භාවිතාවන් පරිහරණය නොවීම හෝ නොකිරීම ගැටලුකේ බවත් එය නොදැනුවත්කම නිසාම සිදු වන්නක් විය නොහැකි බවත් ඔහු පවසයි.

ප්‍රථමයාට වඩා පහසුවෙන් දෙවැනියා සහ තෙවැනියා හමුවීම වසංගත රෝගයක ස්වභාවයක් වන නිසාම, හෙට සිට රෝගය නිශ්චය කර ගැනීමට ජනතාව තුළ ඇති අවශ්‍යතාවය ඉහළ යනු ඇතැයි පෙන්වා දෙන ඔහු  ඒ පිළිබදව තවදුරටත් නොසලකා හරින්නේනම්, ගැටලු මතුවනු ඇති බවද අවශ්‍යතාවයේ පරිදි සැපයුම දීමට නොහැකි වනු ඇතැයිද පවසා ඇත.
පුද්ගලික රෝහලක් ඊට ඉදිරිපත් වීම සතුටට කරුණක් වුවත් එකම පරහකට ඇත්තේ, ඒ සදහා රු 17, 000/- ක පමණ මුදලක් අවැසි වීම බවද එය හැමටම දරාගැනීමට අපහසු වනු ඇති බවද ඔහු දක්වා ඇත.