ශ්‍රී ජයවර්ධනපුර සරසවි ක්‍රීඩාගාරයේ ඉහළ සිට තරප්පු පෙළ දිගේ එවූ ට්‍රැක්ටර් වලට යොදන විශාල ටයරයක් වැදීම නිසා පහළ ක්‍රීඩාගාරයේ සිටි සිසුවකු වීදුරු කන්ණාඩියක් කුඩු කරගෙන ඇදවැටී තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන්නට සිදුවූ සිද්ධියක් ඉකුත් 05 වැනිදා වාර්තාවී ඇති අතර මෙම අනතුර නිසා ශිෂ්‍යයාගේ හිසට බරපතළ හානි සිදු වී ඇතැයිද තත්වය බරපතල බවද
රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ නව අධ්‍යයන වසර සඳහා කළමනාකරණ පීඨයට ඇතුළත් වූ මිනුවන්ගොඩ පදිංචි පසිඳු හිරුෂාන් නමැති සිසුවෙකි.
කළමනාකරණ පීඨයේ පළමු වසර සිසුසිසුවියන්ට පසුගිය මාස කිහිපයේ නවක වදය පැවතී ඇති අතර එය අවසන් කරමින් පැවති පිළිගැනීමේ සාදයකදී

ඉකුත් 5 වැනිදා අලුයම 1.30ට පමණ මෙය සිදුව ඇත.
සාදය රාත්‍රී 12 පමණ වනවිට අවසන් වුවත් සාදයෙන් පසු තවදුරටත් සිසුන් පිරිසක් එහි රැඳී සිටි බවත් සාදය සංවිධානය කළ දෙවැනි වසර සිසුන් අතරින් කෙනෙකු ටයරය ඉහළ සිට පහළට වැදෙන්නට එවන්නට ඇති බවද සැක කෙරේ.

ජ්‍යෙෂ්ඨයින් තවදුරටත් එහි රැදී සිටින්නට කළ අණට පසිඳු අකමැතිවී යන්නට හැදූ නිසා ටයරය ඔහු වෙත හිතාමතාම අතහැර ඇති බව පසිඳු සමග සිටි මිතුරෙකු දන්වා ඇත.
ක්‍රීඩාගාරයේ ඉහළ සිට ආ ටයරය වැදීමත් සමගම පසිඳුට එයින් වැළකෙන්නට බැරිව ගොස් ඇති අතර ඔහුගේ සිරුරේ එය වැදී බිම ඇද වැටී අසළ තිබූ වීදුරු කණ්නාඩියක්ද බිඳගෙන වැටී තිබෙයි. වේගයෙන් ආ ටයරය අනපේක්ෂිත ලෙස ඔහුව පෙරළූ අවස්ථාවේ විදුරු පතුරුද ඔහුගේ හිස පසාරු කරගෙන යාම නිසා බිම වැටුණ ඔහුගේ හිසට බරපතළ හානි සිදු වී ඇතැයි පැවසේ.
එම අවස්ථාවේ සිසුන් හා ආරක්ෂක අංශ එක්ව සිසුවා වහාම කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ අතර එම රෝහලින් කොළඹ ජාතික රෝහලට මාරු කර තිබෙයි.

අනතුර සම්බන්ධයෙන් විනයාධිකාරිගේ

ප්‍රධානත්වයෙන් මූලික පරීක්ෂණයක් පැවැත්වෙන අතර එම පරීක්ෂණ වාර්තාව අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා සඳහන් කර ඇත.
තරප්පු පෙළ දිගේ ටයරය එවා ඇත්තේ කවුරුන් ද යන්න තවම අනාවරණය වී නැතැයි ද මහාචාර්යවරයා සඳහන් කර ඇත.

අනතුරට ලක්වූ කළමනාකරණ පීඨයේ පළමු වසර ශිෂ්‍ය පසිඳු හිරුෂාන්ගේ වැඩිමහල් සොහොයුරා වන ලක්ෂාන් සිල්වා  පවසන ආකාරයට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාගාරය පහත මහලේ පසිඳු හිරුෂාන් සමග ඔහුගේ මිතුරෙකු සිට ඇත. ඉහළ මහලේ සිටි ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් ට්‍රැක්ටර ටයරයක් පසිඳුගේ හිසට අතහැර ඇත.
එය හිසේ වැදී මුණින් අතට වැටුණ පසිඳුගේ හිස අසල තිබූ කණ්ඩියක වැදී හිස්කබල ඇතුළතින් පුපුරන තරමේ ආබාධයකට ලක්ව ඇත.පැය 7 ක දීර්ඝ සැත්කමකින් පසු පසිදු හිරැෂාන් තවමත් සිහිසුන්ව සිටී. පසිඳුගේ සොහොයුරා කියා සිටින්නේ තම සොහොයුරාගේ ජීවිතය දැඩි අවදානමක ඇති බවට වෛද්‍යවරුන් පැවසූ බවයි.

‘‘සීනියර්ස්ලා පැවිලියන් එක උඩ  ඉඳලා මගේ මල්ලිටයි, එයාගේ යාළුවටයි කියලා වතුර ගෙනැත් දෙන්න කියලා. මල්ලිලා ඒක දීලා බෝඩිමට යන්න හදද්දි මල්ලිලාට සීනියර්ස්ලා ඉන්න කියලා. ඒකට බැහැ කියලා ආපු නිසා තමයි ටයර් එක උඩ ඉඳන් ඇඟට වදින්නම අතෑරල තියෙන්නේ’’ පසිඳුගේ සොහොයුරා පැවසීය.

‘‘එතැන හිටපු මල්ලිගේ යාළුවෙක් කිව්වා ඔළුව වැදුණ ගමන් මල්ලි එක සැරයක් නැගිටලා “අනේ මගේ ඔළුව රිදෙනවා” කියලා සිහිය නැතුව වැටුණා කියලා. එවෙලේ ඉඳන් තාම සිහිය නැහැ. මල්ලි දැනට ඉන්නේ යන්ත්‍රවල ආධාරයෙන්. දොස්තරලා කියන්නේ මේ මැෂින් කවදා වෙනතුරු අවශ්‍ය වේවිද දන්නෙ නැහැ කියලා. මල්ලි ජීවත් වුණත් හදිසි කෝමා, ශරීරය සමබරතාව නැතිවන ආකාරයේ තත්ත්වයට මල්ලි අනිවාර්යයෙන්ම පත්වෙනවා කියලා’’  සොහොයුරා පැවසීය.

පසිඳුගේ සොහොයුරා කියා සිටියේ තම සොහොයුරාට සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සඳහා විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ කිසිදු සහයෝගයක් නොලැබෙන බවයි. මෙවැනි සිදුවීමක් සිදුවූ බවක්වත් නොදන්නා සේ ජ්‍යෙෂ්ඨ සිසුන් හැසිරෙන බවද ඔහු කියා තිබේ.

පසිදු හිරැෂාන් සාන්ත පීතර විද්‍යාලයේ ආදි සිසුවෙකු වන අතර උසස් පෙළ විශිෂ්ට ප්‍රතිඵල ලබා සරසවි වරම් ලැබූ අයෙකි. මිනුවන්ගොඩ පුදේශයේ කමරාගොඩ ඔහු විසුවේය. කමරාගොඩ පල්ලියේ ඉතා ක්‍රියාශීලී තරුණ සාමාජිකයෙකු වන අතර පල්ලියේ කටයුතුවලට බෙහෙවින් සම්බන්ධව සිටි අයෙකි.

මගේ මල්ලි විශ්වවිද්‍යාලයට ආවේ පුදුම පීඩනයක් විඳලා. අපේ අම්මා නැතිවෙලා මාසයක් යන්න කලින් මල්ලි උසස් පෙළට මුහුණ දීලා ඒ විභාගය උසස් විදිහට පාස්වෙලා ජයවර්ධනපුර මැනේජ්මන්ට් ෆැකල්ටියට ආවා.
ඒත් මල්ලි අද ඉන්නේ ජීවත් වෙයිද නැද්ද කියලා විශ්වාසයක් නැති තැනක. මල්ලිත් එක්කම ඉන්න කවුරු හරි ළමයෙක් කරපු මේ වැඩේ නිසා මගේ මල්ලිගේ සම්පූර්ණ ජීවිතයම විනාශ වෙනවා’’ සොහොයුරා පැවසීය.
අනතුරට පත් පසිඳු දරුවන් තිදෙනකුගෙන් යුතු පවුලක බාලයා වන අතර වැඩිමහල් සොහොයුරිය නීතිඥවරියකි. සිදුවීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් සිදුවේ.