ඖෂධ නිෂ්පාදනය කරන රටවල් ඖෂධ අපනයනය කිරීම අත්හිටුවීම නිසා ඉදිරි කාලයේදී ඖෂධ හිඟයක් ඇතිවන බව එම ආනයන සංගම් දිවයින පුරා සියලුම ෆාමසිවලට දැනුම් දී තිබෙනවා.


ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය සහ සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය සිකුරාදා (6 ) කොළඹදී පැවැත්වුණා.


එහිදී ඖෂධ ආනයනකරුවන් පෙන්වාදී ඇත්තේ පළමුව වේදනානාශක සහ ප්‍රතිජීවක ඖෂධ වර්ගවල හිඟයක් ඇතිවන බවයි. ඉන් පසු අනෙක් ඖෂධවල හිඟයක් ඇතිවනු ඇති බව පෙන්වාදී තිබෙනවා.

ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් ඉන්දියාවෙන් ඖෂධ ආනයනය කරන අතර ඉන්දියාව ඖෂධ අපනයනය මේ වන විට නතර කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දියාව ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය චීනයෙන් ආනයනය කරන නමුත් චීනය පුරා කෝවිඩ් -19 වෛරසය පැතිර යාමෙන් අමුද්‍රව්‍ය නිෂ්පාදනය බිඳ වැටී තිබෙනවා.

මේ නිසා ඖෂධ ආනයනයට බාධා මතුව ඇති බව ආනයනකරුවන් පෙන්වාදී තිබුණා.

තවද සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව රුපියල් බිලියන 23ක මුදලක් ගෙවීමට ඇති බැවින් සමාගම් පවත්වා ගෙන යාමේ ගැටලුවක්ද මතුව ඇති බව මෙහිදී ආනයනකරුවන් පෙන්වා දී තිබෙනවා.

ප්‍රවේශමෙන් ඖෂධ කළමනාකරණය කරන ලෙසයි මෙහිදී උපදෙස් දී ඇත්තේ.