මේ දිනවල පැතිර ඇති කොරෝනා වෛරස් තත්වය පාලනය කිරීම සඳහා රටට අගුළු දැමිය යුතු බවට විශාල කතාබහක් ඇතිව තිබෙන වෙලාවේ අද දහවල් විශේෂ කාර්ය සාධන රැස්වීම ඇමතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමා මේ දිනවල සිදුවන සියල්ල ගැන පරීක්ෂාකාරී වූ බවත් සම්පූර්ණයෙන් රටම අගුළු දැමීමේ අවශ්‍යතාවයක් තවම ඇතැයි තමා විශ්වාස නොකරන බවත්
කියා සිටියේය.
විදෙස් රටවලදී කොරෝනා විසබීජ සහිතව පැමිණ ගුවන් තොටුපළෙන් පිටවූ ඇතැම් පිරිස් එම නිරෝධායන වැඩසටහනට එක් නොවීම ගැටලු කාරී වූ බවත් ඔවුන් හඳුනාගෙන නිරෝධායනයට යොමු කර රෝගය ව්‍යාප්තිය පාලනය කිරීම තුළින් මෙය විසදාලිය හැකි බවට තමා තවම විශ්වාස කරන බවද කීය.
කෙසේ වෙතත් ඇතැම් අයගේ ආකල්ප හා හැසිරීම් එම වැඩපිලිවෙලට සහාය නොදන ස්වරූපයක් පැවතීම නිසා එම කටයුත්ත දුෂ්කරවී තිබෙන අයුරු ඔහු පෙන්වා දුන්නේය.
රාජකීය ශාන්ත තෝමස් බිග් මැච් එක නතර කරන්න තමා කළ ඉල්ලීම පිළිනොගෙන සංවිධායකයින් එය පැවැත්වූ බවද ජනපතිවරයා මතක් කළේ ශාන්ත තෝමස් ආදි සිසු ගුවන් නියමුවෙකුට කොරෝනා වැළඳීමේ පසුබිම මතක් කරමිනි.තමා දන්නා හිමි නමකට දුරකථනයෙන් කථා කළ බවත් මේ වෙලාවේ සිරිපාදේ යන්නට සූදානම් වෙමින් ඒ ගැන කියූ බවත් පෙන්වා දුන් ජනපති තවම මේකෙන් ඉවත්වෙන ආකල්ප බොහෝ අයට පිහිටා නැති බවද කියා සිටියේය.
ඇතිව තිබෙන බියජනක පරිසර තත්වය පාදක කොටගෙන ශ්‍රී ලංකාව ලොක්ඩවුන් කරන ලෙස ඉල්ලා ෆේස්බුක් ඉන්ස්ටර්ග්‍රැම් ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය ඊයේ (16) සිට රැල්ලක් බිහිකර තිබුණි.
සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ ඉල්ලීම වී ඇත්තේ කිසිවෙකුට එළියට යන්නට නොදී චීනයේ වුහාන් බදු අගුළු දැමීමක් ලංකාව පුරා සිදු කරන ලෙසයි. #Lockdown_SL යන ටැග් එකද මේ සමග හුවමාරු වෙමින් පැවතිණි.