කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමේ පියවර අතර ජංගම සහ ස්ථාවර දුරකථන නිරන්තරයෙන් විෂබීජහරණය කර පිරිසුදුව තබා ගැනීම ද අතිශය වැදගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ප්‍රකාශ කරයි.කරන ලද විමසීමකදී
එම කාර්යාලයට අනුයුක්ත වෛද්‍යවරියක ප්‍රකාශ කරන ලද්දේ ජංගම දුරකථන සහ ස්ථාවර දුරකථන නිරන්තරයෙන්ම විෂබීජ නාශක යොදා පිරිසුදු කිරීමට කටයුතු කළ යුතු බවයි. විශේෂයෙන්ම බොහෝ දෙනකු භාවිතයට ගන්නා කාර්යාල පරිශ්‍රවල ඇති ස්ථාවර දුරකථන ඔස්සේ වෛරසය ආසාදනය වීමේ හැකියාව පවතින බවද පැවසූ ඇය වැඩිදුරටත් මෙසේ ද පැවසුවාය.


‘ජංගම දුරකථන නම් බොහෝ විට තමන් පමණයි පාවිච්චි කරන්නේ. නමුත් ඇතැම් අවස්ථාවල අපි වෙනත් අයටත් ඒවා පාවිච්චි කරන්න දෙනවා. කාර්යාලවල ස්ථාවර දුරකථන නම් බොහෝ දෙනෙක් පාවිච්චි කරනවා. අපේ විවිධ දේ අතපත ගෑමෙන් අනතුරුවයි මේ දුරකථන පාවිච්චි කරන්නේ. භාවිතයේදී ඒවා අපේ නාසය, මුඛ අසලට ළංකර ගන්නවා. ඒ මගින් වෛරසය ආසාදනය වෙන්න පුළුවන්.

ඒ සඳහා දිනපතා ඔබ සාමාන්‍යයෙන් සිදු කෙරෙන දෑත් සේදීමේ වාර ගණන පස් ගුණයකින් වැඩිකිරීම වගේම ඊට සමගාමීව ඔබ භාවිත කරන ජංගම සහ ස්ථාවර දුරකථනත් විෂබීජ හරණය කිරීම ඉතාම වැදගත්.

නයන තරංග ගමගේ