ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10ක සිට ක්වේට් රාජ්‍යයට පැමිණෙන සියලුම විදේශිකයන් එරටට ඇතුළු වීමට පෙර කොරෝනා වෙරසය ආසාදනය වී නොමැති බවට තහවුරු කෙරෙන වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය බවට එරට රජය නිවේදනය කර ඇත. මේ අනුව ශ්‍රී ලංකාවට ඉන්දියාව, බංග්ලාදේශය, පිලිපීනය,
ඊජීප්තුව, සිරියාව, ලෙබනනය, තුර්කිය, අසර්බයිජාන් සහ ජෝර්ජියාව යන රටවලින් එරටට පැමිණෙන පිරිස් සඳහා මේ නියෝගය බලපැවැත්වෙන බවත් මෙම නියෝගය 8 වැනිදා සිට ක්‍රියාත්මක වන බවත් සිවිල් ගුවන්සේවා අධිකාරිය නිවේදනය කර ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ඒ අනුව ක්වේට් රාජ්‍යය බලා පිටත්ව යාමට අපේක්ෂාවෙන් පසුවන්නන් ඒ ඒ රටවල පිහිටි ක්වෙට් තානාපති කාර්යාලවල අනුමැතිය ලත් වෛද්‍ය මධ්‍යස්ථානයකින් කොරෝනා ආසාදිතයකු නොවන බවට තහවුරු කෙරෙන වෛද්‍ය සහතිකයක් ලබාගත යුතුව ඇත.

 එම සහතිකය නොමැතිව එරටට පැමිණෙන්නන් පැමිණි ගුවන්  යානයෙන්ම ආපසු පිටුවහල් කිරීමට පියවර ගන්නා අතර මෙම නියෝගය උල්ලංඝනය කරන ගුවන් සමාගම්වලට දඩ පැනවීමට පියවර ගන්නා බව ක්වේට් සිවිල් ගුවන්සේවා අධිකාරිය සඳහන් කර ඇතැයි ද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පචසයි. ක්වේට් රාජ්‍යයෙන් මේ වන විටත් කොරෝනා වෛරසය ආසාදිතයන් 56 දෙනකු හඳුනාගෙන ඇති බව එරට පළවන ක්වේට් ටයිම්ස් පුවත්පත ඊයේ (04) වාර්තා කළේය.

-තිළිණි ද සිල්වා-