මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරඟාවලියේදී ක්‍රීඩකයන් සඳහා ලබාදෙන ත්‍යාග මුදල් පසුගිය වසරට සාපේක්ෂව අඩකින් අඩු කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමු වී තිබේ. මේ සඳහා
නව චක්‍රලේඛයක් නිකුත් කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා ඇත්තේ තරඟාවලිය සඳහා වන
වියදම් ප්‍රමාණය අඩු කිරීමට (cost cutting) මෙම පියවර ගන්නා බවයි.

කෙසේ වෙතත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම පියවර ගැනීමට නියමිතව ඇත්තේ පසුගිය වසරට සාපේක්ෂව කණ්ඩායම් සඳහා ලැබෙන අනුග්‍රාහක මුදල් ආදිය නොඅඩුව ලැබෙද්දී බව විදෙස් වාර්තා පවසයි. මේ අනුව පසුගිය වර්ෂයේදී ජයග්‍රාහී කණ්ඩායමට ලබා දුන් ඉන්දීය රුපියල් කෝටි 20ක මුදල මේ වසරේදී කෝටි 10 දක්වා අඩු කිරීමට මෙහිදී අවධානය යොමු වී ඇත.

එමෙන්ම මෙම චක්‍රලේඛයට අනුව අනුශූරයන් සඳහා ලබාදුන් කෝටි 12.5 ක මුදල කෝටි 6.75 කටත්, අවසන් පූර්ව වටයේ පරාජිතයන් සඳහා ලබාදෙන මුදල් කෝටි 4.375 කටත් අඩු වීමට නියමිතය.

කණ්ඩායම් 8ක් තරඟවදින ලොව වඩාත් ජනප්‍රියම පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලිය වන අයි.පී.එල්. එළඹෙන මාර්තු 29 වැනිදා සිට මැයි 24 වැනිදා දක්වා ඉන්දියාවේදී පැවැත්වේ.

- ඕෂිත වරකපිටිය -