රැකියා විරහිත උපාධිධාරීන් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූවන්ගේ ලේඛණය අද දින (11) රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය වෙත
(www.pubad.gov.lk) ඇතුළත් කරන බව ජනාධිපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් මගින් දන්වා  ඇත.
කෙසේ වෙතත් මෙම ආරංචිය පැතිරගිය වෙලාවේ සිට අදාළ වෙබ් අඩවියේ පිවිසුම් ඉහළ යාමෙන් එය තාවකාලික බිඳවැටීමකට ලක්ව ඇත.


පත්වීම ලැබී දින 03ක් ඇතුළත තමන් අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු යැයි පත්වීම් ලිපියේ සඳහන් වුවද ලිපි නොලැබූ අය ඒ සම්බන්ධයෙන් කිසිඳු සැකයක් ඇති කරගතයුතු නැති බවද අදාළ නිවේදනයෙන් දන්වා සිටින අතර ලිපි ලැබීමේ ප්‍රමාදයක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් බියක් ඇති කර නොගන්නා ලෙසද එම නිවේදනයෙන් තවදුරටත් සඳහන් කර ඇත.

ලිපිය ලැබී දින 07ක් ඇතුළත පුහුණවට වාර්තා නොකළොත් පත්වීම ප්‍රතික්ෂේප කළා සේ සළකනු ලැබේ යනුවෙන් සඳහන් වුවද පවතින තත්වය යටතේ එය බලාත්මක නොවන බව එම නිවේදනයේ දැක්වෙයි.

මැතිවරණ කොමිසමේ උපදෙස් අනුව මහ මැතිවරණය නිමා වී දින 05 කට පසු එළැඹෙන දිනකදී උපාධිධාරීන් සඳහා පුහුණු වැඩසටහන ආරම්භ කිරීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් දැනුම් දෙනු ඇති.