ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවකුගේ හිසට බැකෝ යන්ත්‍ර සදහා භාවිත කරන ටයරයක් පෙරළා බරපතළ තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළව මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ එම විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සිසුන් 6 දෙනකු ලබන 23 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඊයේ (12) නියෝග කළේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන මාතලේ, කරන්දෙණිය, හිගුරක්ගොඩ, බලංගොඩ සහ ගාල්ල යන ප්‍රදේශවල පදිංචි රන්කොත්ගෙදර දිමුත් තස්සර සිරිවර්ධන, ජී.ඩී.එස්. ශ්‍රීමාල් අමරසිරි, අයි.ඩී. නලින් චතුරංග, ඩබලිව්. ලහිරු ප්‍රියලාල්, කේ.ඩබ්.ඒ. රංගන වලිසිංහ සහ කේ.ඒ.ජී. විභූති සුමිත් කාරියවසම් යන අයයි.

ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 316, 300 වගන්ති ප්‍රකාරව බරපතළ තුවාල සිදුකිරීම, මිනීමැරිමට තැත්කිරිම සහ 1998 අංක 20 දරන නවක වද පනතේ 2, 4, 9 වගන්ති ප්‍රකාරව මෙම සැකකරුවන් වැරැදි සිදුකර ඇතැයි සදහන් කරමින් මිරිහාන පොලීසිය අධිකරණය වෙත වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළ අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය. විශ්වවිද්‍යාල පාලනාධිකාරියේ කිසිදු අනුමැතියකින් තොරව මෙම සැකකාර ශිෂ්‍යයින් එම සාදය සංවිධානය කර ඇති බවත් සිද්ධිය වූ ස්ථානයට ඔවුන්ට ප්‍රවේශවීමට කිසිදු අවසරයක් හෝ ලබාගෙන නොතිබි ඇති බවත් මිරිහාන පොලීසිය සිය වැඩිදුර වාර්තාව මගින් අධිකරණය දැනුවත් කර තිබිණි.

එසේම, මෙම සැකකාර ශිෂ්‍යයන් සිද්ධිය වන විට බීමතින් සිට ඇති බවට ඔවුන්ගේ ප්‍රකාශවලින් අනාවරණය වන අතර, නවක වද සිද්ධියක් හේතුවෙන් මෙම ක්‍රියාව හිතාමතා සිදුකර ඇති එකක් බවට තොරතුරු හෙළිවී ඇති බව ද මිරිහාන පොලීසිය අධිකරණය  වෙත කරුණු ඉදිරිපත් කළේය. මෙම සිද්ධියෙන් හිසෙහි බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටින පසිදු හිරුෂාත් ශිෂ්‍යයා ජීවිතයත් මරණයත් අතර සටනක සිටින බවත් ඔහුගේ ජීවිතය පිළිබඳව නිගමනයක් දිය නොහැකි බවට රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කර ඇති බවත් මිරිහාන පොලීසිය වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය. පැමිණිල්ල වෙනුවෙන් මිරිහාන පොලිසියේ මූලස්ථාන පොලිස් පරික්ෂක උදය හේමත විජයවර්ධන, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඛාත් වීරසිංහ, උපපොලිස් පරික්ෂක කුලරත්න බණ්ඩාර සහ පොලිස් කොස්තාපල් (82128) කෝසල යන නිලධාරිහු අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළහ.

සැකකාර විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වෙනුවෙන් නීතිඥ විදුර මංචනායක, නීතිඥ ප්‍රදීප් සිල්වා, නීතිඥ ශමා චන්ද්‍ර, නීතිඥ වෙනුර යොහාන් ගමගේ සහ නීතිඥ උදාර රුකුමාර යන මහත්ම මහත්මීහු අධිකරණය හමුවේ පෙනී සිටියහ. පැමිණිල්ල වෙනුවෙන් මිරිහාන පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් මෙසේ ප්‍රකාශ කළේය. මෙම සැකකරුවන් අදාළ සාදය පවත්වා තිබුණේ විශ්වවිද්‍යාල පාලනාධිකාරියේ කිසිදු අනුමැතියකින් තොරවයි. එම ස්ථානයේ මේ ටයර් එක ගෙනැවිත් දාපු එකක්. මේ විශ්ව විද්‍යාලයේ යම් යම් ස්ථානවල මෙවැනි ටයර් තිබෙනවා. වෙනත් තැනකින් තමයි මේ ටයර් එක ගෙනත් තිබෙන්නේ. සිද්ධිය වුණ තැනට උඩින් පිහිටි පිට්ටනයකින් තමයි මේ ටයරය අරගෙන යන්නේ.

මෙහි පළමු සැකකරු තමයි මේ ටයර් එක “තල්ලු කරන්න එපා” කියලා කියලා තිබෙන්නේ. ඒ වගේම මේ ශිෂ්‍යයා අනතුරට ලක්වුණාට පස්සේ රෝහල්ගත කරපු ශිෂ්‍යයාත් මේ සැකකරුවන් අතර සිටිනවා. ඒ ඉන්නේ ඔවුන් මේ සිද්ධියේ සිටිය නිසයි. මේ සියල්ලම මොවුන්ගෙන් කරන ලද ප්‍රකාශවලින් අනාවරණය වෙලා තිබෙනවා. පළමු වසර ශිෂ්‍යයන්ට යම් පීඩනයක් තිබුණු බවට මේ ප්‍රකාශයන්ගෙන් අනාවරණය වෙලා තිබෙනවා. මොවුන් විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේ සිට මත්පැන් පානය කරලා ඊට පස්සේ සිද්ධිය වූ ස්ථානය එනම් ගල් පිට්ටනියට එනවා. මොවුන් ශ්‍රවණාගාරයට ගිහිල්ලා මත්පැන් බොනෙත් මේ පළමු වසරේ ශිෂ්‍යයන්ගෙන් ඉල්ලලා ලබාගත් මත්පැන් බෝතල්වලින්.

මේ තැනට එන්න අවසන් වසරේ ශිෂ්‍යයින්ට කිසිදු අවශ්‍යතාවක් නැහැ. මෙතැන නවක වදය සම්බන්ධ දෙයක් සිදුවුණේ නැත්නම්. මේ සිද්ධිය වෙන්නේ පාන්දර 1.30ට විතර.  මෙම සිද්ධියෙන් අනතුරට පත් ශිෂ්‍යයාගේ ජීවිතය පිළිබඳව නිගමනයක් ලබා දෙන්න බැහැ කියලා රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කරනවා. ඔහු යන්ත්‍රවලින් ජීවත් වෙන්නේ . මෙම සිද්ධියට අදාළ තවදුරටත් විමර්ශන පවතිනවා. ඒ හේතුවෙන් මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ඉල්ලා සිටිනවා.

සැකකාර ශිෂ්‍යයන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරු :එදින පැවැතුණේ නවක සිසුන් පිළිගැනීමේ උත්සවයක්. මේ උත්සවය සාමාන්‍ය තත්වයක්. මේ කරපු දේ මිනීමැරිමට හෝ වෙනත් කරදරයක් සම්බන්ධයෙන් හිතා මතා කළ දෙයක් නොවෙයි. එය සතුටින් සමරන සාදයක්. මේ සිද්ධියට පාදක වුණේ බැකෝ යන්ත්‍රයක ටයරයක්. මෙවන් අනතුරක් සිදුකිරිමට ඔවුන්ට කිසිදු චේතනාවක් තිබුණේ නැහැ. මේ සිද්ධිය නවක වදය හේතූවෙන් සිදුවුණා කියලා කිසිම සාක්‍ෂියකින්  අනාවරණය වෙන්නේ නැහැ. මේක හිතාමතා කළ දෙයක් නොවෙයි කියලා ඒකෙන්ම තේරෙනවා. මෙම සිසුවන් අවසන් වසරේ අධ්‍යාපනය ලබන අය. මෙය හිතාමතා කළ දෙයක් නොවෙයි. මොවුන් අවසන් වසරේ විභාගය සඳහා ලබන 26 වැනිදා පෙනී සිටීමට සුදානමින් සිටිනවා. ඕනෑම කොන්දේසියක් මත ඔවුන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම විශ්වවිද්‍යාලය ඇතුළේ සි.සී.ටී.වී. කැමරා සවි කර තිබුණා නම් මෙම සිද්ධියේ නිවැරදි තොරතුරු හෙළි කරගන්න පුළුවන්. නමුත් මෙහි සී.සී.ටී.වී. පද්ධතියක් නැහැ. ඒවා සවි කරන්නේ නැත්තේ කුමන හේතුවක් මත ද කියලා විශ්වවිද්‍යාල කුලපතිවරයාගෙන් කරුණු විමසන ලෙසට ඉල්ලා සිටිනවා.

අධිකරණය: පොලීසිය කරන වීමර්ශනවලට බාධාවක් වන ඕනෑම අයෙක් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරත්ත. සැකකරුවන්ට එරෙහිව නවක වද පනත ප්‍රකාරව චෝදනා නැගීම පිළිබඳව මවන වෙනම සම්පිණ්ඩන වාර්තාවක් ඉදිරි දිනයේ දී අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට පැමිණිල්ලට නියෝග කරනවා. මට ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ලබන 23 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක්  නඩුව කල් තැබීය.
(නිමන්ති රණසිංහ)