නිරෝධායන කටයුතු අතකොළුවක් කර ගනිමින් දේශපාලන පටු වාසි ලබාගැනීමට කටයුතු නොකරන ලෙසට විපක්ෂයෙන් ඉල්ලා සිටින බව හිටපු  රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
හෙතෙම මේ බව පවසා සිටියේ බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී ඊයේ (12දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී මේ පිළිබඳ අදහස් දැක්වූ ඒ මහතා,

“ඇතැම් පිරිස් නිරෝධායන කටයුතුවලට විරෝධය දක්වමින් කලහකාරී ලෙස හැසිරුණු බව අසන්න ලැබුණා. මෙය දරුණු වෛරසයක් නිසා ශ්‍රී ලාංකිකයන් බේරාගැනීමත් රට තුළ පැතිරීම වැළැක්වීමත් ඉතා වගකීමෙන් යුතුව සිදු කළ යුතුයි. එක්සත් ජාතික පක්ෂයටත්, එක්සත් ජාතික පක්ෂයෙන් විතැන් වෙන්න සිටින කණ්ඩායමටත්, ජනතා විමුක්ති පෙරමුණටත් කියා සිටින්නේ මෙම ගැටලුව දේශපාලන අතකොළුවක් කර නොගන්නා ලෙසයි. මෙය ඉතා භයානක තත්වයක්. මේ අය සියල්ල පසෙකලා දේශපාලන පහත් පටු වාසි ලැබීමේ අරමුණින් කටයුතු කරනවා. දේශපාලන පටු වාසි ලබා ගන්න තැත් කරන පිරිස විසින් මේ තත්ත්වය පාලනය කරන්නන්ට නිග්‍රහ කිරීමක් ලෙසයි අපි දකින්නේ” යනුවෙන්ද කීය.

'පොහොට්ටුව’ සමග එක්ව මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් වෙනත් පක්ෂ සමග ගිවිසුම් අත්සන් කරනු ඇති බවට සැකයක්ද උද්ගතව ඇතැයිද ශෙහාන් සේමසිංහ මහතා මෙම මාධ්‍ය හමුවේදී පවසා සිටියේය. ඒ අනුව මේ පිළිබද අදහස් දක්වමින්,

"ජනතා විමුක්ති පෙරමුණේ අනාගතය අද වෙද්දී කනගාටුදායක තත්වයකට ඇද වැටිලා තිබෙන්නේ. බොහෝම වගකීමෙන් කියනවා එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ එක්වුවත් මන්ත්‍රී ආසන 50කට ළඟාවීමට නොහැකි බව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කිසිදු මතවාදයක් නැහැ. එම පක්ෂය තුළ විවිධ න්‍යාය පත්‍ර ඔස්සේ කටයුතු කෙරෙනවා. අපට සැකයක් තිබෙනවා ඔවුන් මැතිවරණය ජයගෙන අනෙක් පක්ෂ සමග ගිවිසුම් ඇති කරගන්නා බවට” යැයිද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

- නිදර්ශනී වික්‍රමසිංහ -