ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පිඨයේ නවක සිසුවකු වූ පසිඳු හිරුෂාන් තරුණයාගේ හිසට ටයරයක් වැදී බරපතළ තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම තරුණයාගේ සහෝදරයා ඇතුළු තරුණයන් පස් දෙනකුගෙන් ඊයේ (10) ප්‍රකාශ ලබා ගත් බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසය කියයි. ප්‍රකාශ ලබා ගත්
එම පිරිස අතර බරපතළ තුවාල ලද පසිඳු හිරුෂාන් සමග බෝඩිමක නවාතැන් ගෙන සිටින තරුණයකු, රෝහල් ගත කළ තරුණයකු සහ ටයරය පැවිලියන් එකේ පියගැට පෙළ මගින් පහළට පැමිණෙන අයුරු දුටු තරුණයන් දෙදෙනකු මෙන්ම පසිඳු හිරූෂාන් ගේ සහෝදරයා සිටින බව පොලිසිය කියයි.

ප්‍රකාශ ලබා ගැනීම සඳහා එම පිරිස බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසය වෙත කැඳවූ බව පොලිසිය කියයි. පරික්ෂණ පවත්වන පොලිස් නිලධාරින් එම ටයරය ක්‍රීඩා මණ්ඩපයේ පියැගැට පෙළින්ම පහළට එවා, එහි වේගය පිළිබඳ නිරික්ෂණය කර ඇති අතර එම ටයරය පියගැට පෙළ මගින් එදින කිසියම් හෝ අයකු තල්ලු කර එවීමේදී, පිය ගැට පෙළ මත රැදී සිටි විශාල පිරිසක් ඉවතට පැන ඇති බවද අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි. මෙම ටියරය පියගැට පෙළ දිගේ එවා ඇති පුද්ගලයා පසිඳු හිරූෂාන් තරුණයාව ඉලක්ක කරගෙන හෝ සාදයට සහභාගී වෙනයම් අයෙකු ඉලක්ක කරගෙන එවන ලද්දක් නොවන බවත් නවකවද සිද්ධියක් නොවන බවත් කිසියම් පුද්ගලයකු අතින් සිදු වූ අහඹු සිදුවීමක් බවට දැනට සිදුකර තිබෙන පරික්ෂණවලින් මෙන්ම ප්‍රකාශ වලින් අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. තරුණයා බරපතළ තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් පරික්ෂණ ක්‍රියාත්මක බවත් තවත් කිහිප දෙනෙකුගෙන් අද (11) ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

-බිමල් ශ්‍යාමන් ජයසිංහ-