ඩීසල් ලීටරයක මිල රුපියල් පහළොවකින් අඩු කළහොත් බස් ගාස්තුව රුපියල් 04කින් අඩු කරන බව සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය සඳහන් කරයි.


සැලකිය යුතු මුදලකින් ඩීසල් මිල අඩු කළහොත් බස් ගාස්තුව අඩු කිරීමට හැකියාව තිබෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයද පවසා සිටියි.

පෙට්‍රල් ලීටරයක මිල රුපියල් දහයක් අඩු කළහොත් ත්‍රිරෝද රථවල පළමු කිලෝමීටරයකට අය කරන මුදල රුපියල් දහයකින් අඩු කර දෙවැනි කිලෝමීටරයේ සිට රුපියල් පහකින් අඩු කරන බවද ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමය සඳහන් කරයි.

ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල විශාල ලෙස පහළ ගොස් තිබෙන නිසා ඉන්ධන මිල අඩු කළ යුතු බවත්, ඉන්ධන මිල අඩු කළ යුතු බවත් පවසා සිටි. සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියජිත් මහතා, ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්‍ෂව බස් ගාස්තු අඩු කරන බවද සඳහන් කළේය.

සැලකිය යුතු මුදලකින් ඉන්ධන මිල අඩු කළහොත් බස් ගාස්තු අඩු කිරීමට හැකියාව තිබෙන බවත්, ඉන්ධන මිල ඇතුළු අනෙකුත් කරුණු මත පසුගිය වසරේදී බස් ගාස්තු ඉහළ දැමීමට හැකියාව තිබුණත් එය සිදු නොකළ බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එහෙත් සැලකිය යුතු මුදලකින් ඩීසල් මිල පහළ දැමීමට කටයුතු කළහොත් මගීන්ට සාධාරණය කරන බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේය. එසේම පෙට්‍රල් මිල අඩු කළහොත් එහි වාසිය අනිවාර්යයෙන්ම ත්‍රිරෝද රථ මගීන්ට ලබාදීමට කටයුතු කරන බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයින්ගේ ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පැවසීය.

- ඉන්දික හේවාවිතාරණ -