රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර මහතා පොහොට්ටුවෙන් මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා එම පක්ෂයේ බලධාරීන් සමඟ සාකච්ඡා පැවැති බවත්, එහිදී ඔහුට අපේක්ෂකත්වය ලබාදීම සඳහා දිස්ත්‍රික්කයක් ලබාදීමේ ගැටලුවක් මතුවී ඇතැයි වාර්තා වේ.




උවිඳු විජේවීර මහතා මීට දින දෙකකට පෙර රුසියාව බලා පිටත්ව ගොස් ඇති බව ද දැනගන්නට ඇත. තමන්ට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීමට පොහොට්ටුවේ ගම්පහ දිස්ත්‍රික් ක්‍රියාකාරීන් එතරම් කැමැත්තක් නොමැති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

පසුගිය කාලය තුළදී ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ ජයග්‍රහණය සඳහා උරදුන් මන්ත්‍රීවරුන්ට යම්කිසි අසාධාරණයක් විය හැකි බව ඔවුන්ගේ මතය වී තිබේ. මේ නිසා උවිඳු විජේවීර මහතාට තරඟ කිරීම සඳහා කොළඹ හෝ වෙනත් දිස්ත්‍රික්කයක් ලබාදීමට කටයුතු කරන බව වාර්තා වේ.

මේ වනවිට රුසියාව බලා ගොස් ඇති උවිඳු විජේවීර මහතාට පොහොට්ටුවේ ක්‍රියාකාරීන්ගෙන් යළි කැඳවීමක් ලැබෙනු ඇතැයි ද, ඔහු යළිත් මෙම සති අන්තයට පෙර නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ද දැනගන්නට ඇත.

- ලාල් එස් කුමාර -